පොසොන් උත්සවයට ආරක්ෂක වැඩපිළිවෙළක් 

පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පොසොන් කලාප 322ක්, තොරණ 296ක්, දන්සල් 4600කට ආසන්න ප්‍රමාණයක් ඇතුළු 6000කට ආසන්න උත්සව ප්‍රමාණයක් පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. මීට සමගාමීව දිවයින පුරා විහාරස්ථාන 11,100කට ආසන්න ප්‍රමාණයක විවිධ ආගමික වතාවත් සංවිධානය කර ඇතැයි ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

පොසොන් උත්සවයට අදාළව ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන අතර පොලිස් නිලධාරීන් 20,000ක්, පොලිස් විශේෂ බළකා නිලධාරීන් 400ක්, යුද හමුදා නිලධාරීන් 700ක් දිවයින පුරා රාජකාරි සඳහා යොදවා ඇති අතර 27,000කට ආසන්න ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් පිරිසක් පොලිසියට අවශ්‍ය සහාය හා සම්බන්ධීකරණය ලබාදෙමින් කටයුතු කරන බව එම කොට්ඨාසය පවසයි.

හෝමාගම ධර්ම රශ්මි පොසොන් කලාපය කේන්ද්‍ර කර ගනිමින් ආරක්ෂක හා රථ වාහන වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වන අතර ඒ සම්බන්ධයෙන් ද මහජනතාව දැනුම්වත් කිරීමට වැඩපිළිවෙළක් යොදා ඇති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ධර්ම රශ්මි පොසොන් කලාපය හෝමාගම නගරය කේන්ද්‍ර කර ගනිමින් 23 වැනිදා දක්වා පැවැත්වේ. මේ සඳහා විශාල ජනතාවක් සහභාගිවනු ඇතැයි අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. එබැවින් පොසොන් කලාපය පැවැත්වෙන දිනයන්හි පස්වරු 6.00 සිට අලුයම 1.00 දක්වා මාර්ගය වසා තැබීමට නියමිත බව ද පොලිසිය සඳහන් කරයි. එසේම පොසොන් කලාපය නැරඹීමට පැමිණෙන මහජනතාවගේ ගමනාගමන පහසුව සඳහා මාර්ග කිහිපයක් එක් දිශාවකට පමණක් ධාවනය කරවීමට නියමිතය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන ආකාරයට අනුව කොළඹ සිට අවිස්සාවේල්ල දෙසට හයිලෙවල් මාර්ගය ඔස්සේ ධාවනය කෙරෙන මගී ප්‍රවාහන බස් රථ හා අනෙකුත් වාහන හැර සියලු බර වාහන කොට්ටාව මංසන්ධියෙන් වමට හැරී රුක්මලේ හන්දිය ඔස්සේ පුංචි අතුරුගිරිය හන්දියට ගමන් කර එම හන්දියෙන් දකුණට හැරී ගොඩගම හන්දිය දෙසට ධාවනය කර එතැනින් වටම හැරී අවිස්සාවේල්ල දෙසට ගමන් කිරීමට හැකිය. අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් කරන වාහන ද ගමන් කළ යුතු වන්නේ ගොඩගම හන්දියෙන් දකුණට හරවා ඉහත මාර්ගය ඔස්සේ කොට්ටාවට පැමිණය.

ඒ හැරුණු කොට තවත් විකල්ප මාර්ග රැසක් පොලිසිය නම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සහ මෙම පොසොන් කලාපයට අදාළව යම් හදිසි අවස්ථාවකදී මූලස්ථාන පොලිස් පරීක්ෂක හෝමාගම 071-8591655, සහකාර පොලිස් අධිකාරි හෝමාගම 071-8591658, හෝමාගම පොලිස් ස්ථානය 011-2855222, 011-2855211 යන දුරකතන අංක ඔස්සේ මහජනතාවට පොලිසිය ඇමැතීමට හැකියාව ඇති බව එම කොට්ඨාසය ප්‍රකාශ කරයි.

හෝමාගම පොසොන් කලාපය වෙත පැමිණෙන රථ වාහන ගාල් කිරීමට ස්ථාන 06ක් ස්ථාපිත කර ඇත. පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලය ඉදිරිපිට හිස් ඉඩම, එන්.එස්.බී.එම්. සරසවිය ඉදිරිපිට හිස් ඉඩම, නැනෝ තාක්ෂණ විද්‍යාලය ඉදිරිපිට හිස් ඉඩම, හෝමාගම බස් නැවතුම්පොළ භූමිය, පනාගොඩ යුද හමුදා කඳවුර අසල පන්සල් භූමිය සහ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසල සිට පාදුක්ක දෙසට මාර්ගයේ වම්පස කොටස වශයෙන් එම රථ ගාල් ස්ථාපිත කර තිබේ.

ජලාශවල දිය නාන පිරිසගේ ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක නිලධාරීන් 400කට ආසන්න සංඛ්‍යාවක් අනුරාධපුර ප්‍රදේශයේ රාජකාරි සඳහා යොදවා ඇති අතර 4000කට වැඩි පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් අනුරාධපුර පැවැත්වෙන පොසොන් උත්සවයේ රාජකාරි සඳහා යොදවා ඇත.

මාර්ගයේ නුසුදුසු ස්ථානවල රථ වාහන නතර කර තැබීම හා නතර කිරීම රථ වාහන තදබදයක් ඇති වීමට හේතුවන බැවින් ඒවා නියමිත රථ ගාල්වල පමණක් නතර කළ යුතු බව පවසන පොලිස් මාධ්‍ය කොට්ඨාසය රථ වාහනවල ආරක්ෂාව සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවා ඇති බව සඳහන් කරයි.

පොසොන් උත්සව සමයේදී වැඩි දෙනකුගේ අවධානය යොමුවන්නේ ඓතිහාසික අනුරාධපුර නගරය වෙත බවත් මිහින්තලා පූජා භූමිය, ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථාන ප්‍රදේශයත් තන්තිරිමලය රාජමහා විහාරය, අවුකන විජිතපුර හා නාමල් උයන ප්‍රදේශ පිළිබඳ මෙවර විශේෂ අවධානයක් යොමු කරමින් රථ ගාල් ස්ථාපිත කර ඇති බවත් පොලිසිය කියයි. අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව පමණක් රථ ගාල් 21ක් ස්ථාපිත කර ඇති බව ද පොලිසිය සඳහන් කරයි. ඒ හැරුණුකොට මිහින්තලයේ රථ ගාල් 07ක් ද අවුකන රථ ගාල් 02ක් ද තන්තිරිමලේ රථ ගාල් 01ක් ද ස්ථාපිත කර ඇත.

අනුරාධපුර ප්‍රදේශයට අදාළව රථ වාහන තදබදයක් හෝ රථ වාහන ආපදාවකදී 025-2222191 දුරකතන අංකයට ඇමැතීම් කළ හැකි වන අතර යම් පුද්ගලයකු පැමිණි පිරිසෙන් අතරමංවූ විටකදී 025-2222124 දරන මෙහෙයුම් මැදිරියේ දුරකතන අංක මඟින් පොලිස් නිලධාරීන්ගේ සහයෝගය ලබාගත හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.