දඹුල්ල ආර්ථිකයට ගිය ලොරියකට වන අලි ප්‍රහාරයක් – රියදුරා මරුට

පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ 7 කණුව දේවාලය අසල දී වන අලියෙකු පහර දී ලොරියක ගමන් කළ පුද්ගලයෙකු මිය‌ ගොස් තිබෙයි.

අද උදෑසන (19 ) සිදු වී ඇති මෙම පහර දීමෙන් පොළොන්නරුව 4 ඇල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මිය ගොස් ඇත.

මිය පුද්ගලයා ලොරි රථයකින් කෙසෙල් හා කොස් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන යමින් සිට ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙයි.

එම කුඩා ලොරි රථය මින්නේරිය දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වී ඇති අවස්ථාවේ එක්වර වන අලියෙකු ලොරි රථය ඉදිරිපිටට පැමිණ ඇති අතර එම අවස්ථාවේ ලොරි රථයේ රියදුරු කලබලවීම හේතුවෙන් මාර්ගයේ ලොරි රථය එකවර නතර වී ඇත.

ඉන් අනතුරුව ඔහු ලොරි රථයෙන් පැනගොස් බේරී ඇති අතර පසුව වන අලියා විසින් ලොරි රථය ඒ අසල පිහිටි හබරණ රක්ෂිතයේ බෑවුමකට පෙරලා තිබේ.

ඉන් අනතුරුව වන අලියා විසින් ලොරි රථයේ ගමන් කල පුද්ගලයාට පහර දී ඝාතනය කර  ඇති බව පොලිසිය සඳහන් කරයි.

වන අලි පහරදීමෙන් මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය හිගුරක්ගොඩ මූලික රෝහලේ තබා ඇති අතර මේ පිලිබද වැඩිදුර පරීක්ෂණ කටයුතු මින්නේරිය පොලීසිය විසින් සිදු කරයි.