-කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා සංවිධාන අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිස්ස රවීන්ද්‍ර පෙරේරා
අධ්‍යාපනයයි ආර්ථිකයයි රේල්පීලි දෙකක් වගෙයි
හොඳ අධ්‍යාපන ක්‍රමයක් රටේ ඇත්නම් ආර්ථිකයත් ශක්තිමත්
මඟදී හැලෙන ශිෂ්‍යයන් වෙනුවෙන් වැඩපිළිවෙළක් හදන්න
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රායෝගික කරන්න ඕනෑ
l නිදහස ලැබීමට පෙර ශ්‍රී ලංකාවේ අධ්‍යාපන තත්ත්වය කෙබඳුද?
කෝල්බෲක් කැමරන් ප්රතිසංස්කරණයත් එක්ක අපේ රටේ අධ්‍යාපනය හැඩගැහිලා තිබුණේ වතු වගාවට අවශ්‍ය කරන සිවිල් සේවකයා නිර්මාණය කර ගැනීමට අවශ්‍ය අධ්‍යාපන ක්‍රමයක්. ඒ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම යොමු වුණේ වතු කෘෂිකර්මාන්තයට අවශ්‍ය නිලධාරි පන්තිය නිර්මාණය කර ගැනීම සඳහායි. 1976 දී රට යටත් කර ගත්තාට පස්සේ රටේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම හැඩගැහුණේ වතු කර්මාන්තය ආශ්රිත නිලධාරී පන්තිය නිර්මාණය කර ගැනීමටයි. ඒ හැරෙන්න ඔවුන්ට අවශ්‍ය වුණේ නැහැ අපේ රටට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් අපිට හඳුන්වලා දෙන්න.
l නිදහස ලැබීමෙන් පසුව අපේ අධ්‍යාපන ක්‍රමය මොන වගේද?
මේ අධ්‍යාපන ක්‍රමය තුළ 1938 පනතක් ඇවිත් යම් ආකාරයක වෙනසක් ඇති වෙනවා. ඉන්පසුව රටේ ජනතාවට නිදහස් අධ්‍යාපනය ලබා දෙන්න 1947 C.W.W. කන්නන්ගර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පනතක් ගෙනල්ලා අනුමත කරනවා. මේ පනතෙන් නැති බැරි අයට මෙන්ම ඇති හැකි අයටත් එක ලෙස නිදහස් අධ්‍යාපනය ලබා දෙන්න එතුමා සැලැස්සුවා. මෙතැනදි ඇති හැකි අයගෙන් මුදල් අය කරගන්න තිබුණා කියන එක තමා මගේ පෞද්ගලික අදහස. ඒක මේ පනතේ තිබුණ දුර්වලතාවක් විදිහට තමයි මම දකින්නේ. මේ පනත ගේන්න ඉස්සෙල්ලා 90% අධ්‍යාපනයේ නිදහස හිමිවෙලා තිබුණේ නැහැ. ඉතුරු සියයට දහයෙනුත් පිරිවෙන් ආශ්‍රිතව තමයි වැඩි පිරිසක් අධ්‍යාපනය ලැබුවේ. 47 මේ ක්‍රියාදාමය නිසා බහුතර පිරිසකට අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාද හිමි වුණා.
l වර්තමාන අධ්‍යාපන ක්රමයේ තිබෙන ගැටලු විදිහට ඔබතුමා දකින්නේ මොනවාද?
අපේ රටේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි, අපිට බැරි වුණා සුද්දා මුලින්ම නිර්මාණය කරලා දුන්න අධ්‍යාපන ක්‍රමය වෙනස් කර ගන්න. ඔවුන් ඒ අධ්‍යාපන ක්‍රමය නිර්මාණය කළේ වතු වගාවට අවශ්‍ය සේවකයා නිර්මාණය කරගන්නයි. ලෝකයේ ගවුමක් ඇඳලා, ටයි දාලා ඉස්කෝලෙ යන එකම රට ශ්‍රී ලංකාව. මේ වගේ ඝර්ම කලාපීය රටක මේ ගිනි ගහන අව්වේ මේ වගේ ඇඳුමක් ඇඳගෙන ඉගෙන ගන්න පුළුවන්ද? අපිට මේ කුඩා වෙනසවත් කර ගන්න බැරි වුණා. අපේ පාසල් ශිෂ්‍යයා විසින් ඇඳිය යුතු නිල ඇඳුමවත් අපිට අවශ්‍ය ආකාරයට නිර්මාණය කර ගන්න බැරුව ගියා වැඩි ප්‍රතිසංස්කරණ පැත්තකට තියලා. ඒ වගේම විෂය නිර්දේශයන් බටහිරට බද්ධව හැදුණ මිසක් දේශීය අවශ්‍යතා මත පදනම් වෙලා ස්වදේශිකයා නිර්මාණය කර ගැනීමට අවශ්‍ය අධ්‍යාපනයක් අපිට නිර්මාණය කර ගන්න බැරිව ගියා.
මහා ප්‍රාඥයන් බිහි කරපු පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයක් අපට තිබුණා. ඒක බොහෝ විට දේශීයත්වයට බරයි. වසර දෙතුන් සියයකට කලින් අපේ විද්වතුන් අතින් ලියැවුණු පොත්පත් අධ්‍යයනය කරනකොට තේරෙනවා ඒවා කොතරම් ගැඹුරු දාර්ශනික දේවල්වලින් ලියවුණ ඒවාද කියලා.
එතකොට අපිට තිබුණා, මේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ තිබුණ හොඳ කොටස් ටික අරගෙන අපේ ස්වදේශීය අධ්‍යාපන ක්රමයේ හොඳ කොටස් එක්ක එකට එකතු කරලා අපට ගැළපෙන අපේ ස්වදේශිකයා නිර්මාණය කරගන්න අවශ්‍ය කරන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කරන්න. ඒත්, අපි ඒ වගේ දෙයක් කළේ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි විද්‍යාලංකාර විද්‍යෝදය වගේ පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත්වුණා. ඒවා වර්තමානය වන විට බටහිර අධ්‍යාපනයේ ගොදුරු බවට පත්වෙලා තියෙනවා. මං හිතන විදිහට ඊට වඩා හොඳයි ඒවා මහා පිරිවෙන් විදිහටම තිබුණානම්. ඒවගෙනුත් කරන්නේ බටහිර අධ්‍යාපනයෙන් කරපු වැවිලි කර්මාන්තයට අවශ්‍ය කරපු සේවකයා නිර්මාණය කර ගැනීම සඳහා ආනයනය කරන ලද අධ්‍යාපනයක් ලබා දීමයි.
අපේ අධ්‍යාපන ක්රමයේ තියෙන තව ගැටලුවක් තමයි ප්‍රායෝගික නොවන උගතුන් නිර්මාණය කිරීම. මේ රටේ විශාල අප්‍රයෝගික උගතුන් පිරිසක් ඉන්නවා. ඔවුන් සමහරුන් ඔවුන්ගේ විෂය ක්ෂේත්රවල ප්‍රායෝගික අත්දැකීම්වත් ලබලා නැහැ. විශ්වවිද්‍යාලවල කළමනාකරණ පීඨවල ඉන්න බහුතරයක් ආචාර්යවරුන් කොම්පැනියක් දැකලවත් නැහැ. එතකොට කොම්පැනියක් දැකලවත් නැතුව ඔවුන් කොහොමද කළමනාකරණය ඉගෙන ගන්න එන ශිෂ්‍යයාට කළමනාකරණය උගන්වන්නේ. අපි මේ තත්ත්වය වහාම වෙනස් කළ යුතු වෙනවා. ඔය දේශීය උගතුන්ගේ තියෙන අප්‍රයෝගික බව නිසා තමයි පසුගිය රජයටත් දේශීය යන්ත්‍රණයකින් ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජ, සංස්කෘතික සහ ආර්ථික ප්රශ්නය විසඳගන්න බැරිව ගියේ. ඇත්තටම පසුගිය රජය අසාර්ථක වුණේම ප්‍රායෝගික නොවන දේශීය උගතුන් කෙරෙහි විශ්වාස තැබීම. මේ නිසා තමයි, අපිට ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජ සංස්කෘතික සහ ආර්ථික ප්‍රශ්න විසඳගන්න සුද්දන්ගෙන් විසඳුම් ගන්න සිද්ධ වුණේ. මෙම තත්ත්වය අප්‍රයෝගික දේශීය උගතුන් ලැජ්ජ විය යුතු කාරණයක්.
අනිත් පැත්තෙන් ගත්තාම ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් අපේ අධ්‍යාපනය ලබන්න ඉඩකඩ මදිකමක් තියෙනවා. සාමාන්‍යයෙන් වසරකට ලක්ෂ පහක් විතර අ.පො.ස උසස් පෙළ ලියනවා. ඒකෙන් සියයට 65 කට විතර විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට සුදුසුකම් ලැබෙනවා. නමුත්, ඒ ප්‍රමාණය සියයට 25කට වගේ තමයි විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට වරම් හිමි වෙන්නේ. එතකොට ඉතුරු සියයට 40ටම යන්න තැනක් නැහැ. අධ්‍යාපනයේ මඟදී හැලෙන ශිෂ්‍යයන්ට රටේ වැඩපිළිවෙළක් නැහැ. මේ ඉතුරු ප්‍රමාණයෙනුත් 20,000 විතර විවිධ රටවල අධ්‍යාපනය ලැබීමට යනවා.
මෙතැනදි අපි රටක් විදිහට ලැජ්ජ විය යුතු කාරණය තමයි, මහා බ්‍රිතාන්‍යයට යටත් වෙලා හිටපු රටවල් අතරින් ලෝකයේ මහා බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය හොඳින්ම පිහිටපු රට තමයි ලංකාව. මේ අධ්‍යාපනය හොඳින්ම පිහිටපු රටට බැරි වුණා තමන්ට අවශ්‍ය ආකාරයට ඒ අධ්‍යාපනය වෙනස් කරගන්න. අපිට තාම බැරි වුණා මේ අධ්‍යාපනය පිටරටට විකුණන්න. මහා බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල ප්‍රධාන ආදායම් මාර්ගය තමයි අධ්‍යාපනය කියන්නේ. ඒ රටවලට විදේශීය ශිෂ්‍යයෝ එනවා අධ්‍යාපනය මිලදී ගන්න.
ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, බංග්ලාදේශය, චීනය, මැලේසියාව,රුසියාව, සිංගප්පූරුව වගේ රටවල විශාල ශ්‍රී ලාංකික ශිෂ්‍යයෝ පිරිසක් ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් අපිට ලබා දෙන්න බැරිව ගිය නිසා තමයි ඔවුන් මුදලට අධ්‍යාපනය හදාරන්න ගිහිල්ලා තියෙන්නේ. අපි ඉක්මනින් අපේ අධ්‍යාපනය පිටරටවලට විකුණා ගත යුතු වෙනවා. ඒ හරහා අපිට මුදල් හොයා ගන්න පුළුවන්. එතකොට අපේ රටේ ගොඩක් ගැටලු අඩු කරගන්න පුළුවන්.
අපේ රටෙන් පිටට යන ශිෂ්‍ය ප්‍රමාණය නතර කර ගන්න පුළුවන්. මෙහිදී මේ අධ්‍යාපනය තවත් පෞද්ගලික අංශයට ලබා දිය යුතුයි. මොකද තවත් රාජ්‍ය අංශය පුළුල් කරනවා කියන එක මිථ්‍යාවක්. මොකද ඒක කරන්න බැරි දෙයක්. මොකද රජයකට තවත් මේ අධ්‍යාපන වියදම දරන්න බැහැ. එතකොට අපි කරන්න ඕනා පෞද්ගලික අධ්‍යාපනය තවත් පුළුල් කරලා රටින් පිට යන පිරිසට මෙහේ ඉඳලම අධ්‍යාපනය ලබා ගන්න අවශ්‍ය සුදුසු වාතාවරණයක් නිර්මාණය කරලා දෙන එක.
ඊට අමතරව පිටරටින් එන ශිෂ්‍යයන්ට අවශ්‍ය පහසුකම් වැඩි කළ යුතුයි. විශේෂයෙන්ම අපි පෞද්ගලික අංශයට අධ්‍යාපනය ලබා දෙනකොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා කිසියම් ආකාරයක නියාමනයකට අධීක්ෂණයකට ලක් කළ යුතුයි. මේ වගේ ගුණාත්මකභාවය රැඳවනවාද කියලා නිරීක්ෂණය කරන්න. මේ රටේ තවත් මතයක් තියෙනවා, ඕනෑම අධ්‍යාපන ක්‍රමයක් පෞද්ගලික අංශයට දුන්නට කමක් නැහැ හැබැයි වෛද්‍ය අධ්‍යාපනය දෙන්න බැහැ කියලා වෛද්‍යවරයා කියන්නේ අමුතු මනුස්සයෙක් නෙවෙයි. බටහිර වෛද්‍යවරයා කරන්නෙත් ගමේ වෙද මහත්තයා, අපේ දේශීය වෛද්‍ය ආයතනයෙන් බිහි කරන දේශීය වෛද්‍යවරයා කරන දේමයි. මේ වගේ දේවල් තමයි මං අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තියෙන ගැටලු විදිහට තියෙන්නේ.
l ආර්ථිකය සහ අධ්‍යාපනය කියන ක්ෂේත්‍ර දෙක තුළ තියෙන්නෙ මොන වගේ සම්බන්ධයක්ද?
අධ්‍යාපනය සහ ආර්ථිකය කියන්නේ හරියට රේල් පීලි දෙකක් වගේ. ඒ කියන්නේ රටේ අධ්‍යාපනය වැටෙනකොට ආර්ථිකයත් වැටෙනවා. රටේ ආර්ථිකය වැටෙනකොට අධ්‍යාපනයත් වැටෙනවා. ඕනෑම රටක ඔය දෙක එකට පවත්වාගෙන යා යුතුයි. මොකද හොඳ අධ්‍යාපනයක් තියෙන රටක ආර්ථික සංවර්ධනය ළඟා කර ගන්න ලේසියි. හොඳ ආර්ථිකයක් තියෙන රටක හොඳ අධ්‍යාපනයක් පවත්වාගෙන යන්න ලේසියි. දියුණු හැම රටකම වගේ හොඳ අධ්‍යාපනයක් තියෙනවා. චීනය, වියට්නාමය වගේ රටවල ඉහළ සංවර්ධන වේගයක් තියෙනවා. ඔවුන්ගේ ශිෂ්‍යයන් බොහෝමයක් විදේශ අධ්‍යාපනයට යොමු වෙලා තියෙනවා. ඔවුන් බටහිර නව දැනුම තම රටට ගෙනල්ලා එහි දියුණුවට යොදවනවා. ඔවුන් ඊට සාපේක්ෂව ඔවුන්ගේ අධ්‍යාපනය ක්‍රමය දියුණු කරගෙන යනවා. රටකට දියුණු වෙන්න බැහැ හොඳ අධ්‍යාපනය ක්‍රමයක් නැත්නම්. ඒ නිසා රටක අධ්‍යාපන ක්‍රමය කියන්නේ අත්‍යවශ්‍යම සාධකයක්.
l ආර්ථිකය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර නඟාසිටුවීමට අනුගමනය කළ යුතු ක්‍රමවේද මොනවාද?
අපිට පුළුවන් අපේ අධ්‍යාපන ක්ෂේත්රය දියුණු කරලා ඒ හරහා විශාල වශයෙන් රට සංවර්ධනයට අවශ්‍ය පසුබිම සකසා ගන්න. උදාහරණයක් තමයි, සාමාන්‍යයෙන් අවුරුද්දකට 12,000 විතර රටින් පිට වෙනවා අධ්‍යාපන කටයුතු හදාරන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 400ක් විතර ශ්‍රී ලංකාවෙන් පිටට යනවා. මේ කාලේ වෙන කොට මේ ප්‍රමාණය තවදුරටත් වැඩි වෙලා. මේක නතර කරගත්තොත් අපිට අපේ විදේශ විනිමය ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි, විදේශ ශිෂ්‍යයන් අපේ රටට ගෙන්න ගන්න පුළුවන්. අපේ රටේ අධ්‍යාපනය විදේශ රටවලට විකුණන්න පුළුවන්. මෑතකාලීනව තීරණයක් ගත්තා, විදේශ රටවල විශ්වවිද්‍යාල තුනක ශාඛා මෙහි පිහිටුවන්න. ඒක කළ යුතු දෙයක් නෙවෙයි. මේ රටේ විශ්වවිද්‍යාලවල හොඳටම පහසුකම් තියෙනවා. විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් ප්‍රායෝගික කරන්න ඕනෑ. ඒ වගේම විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් වැඩි වශයෙන් පර්යේෂණවලට සම්බන්ධ කළ යුතු වෙනවා. ඔවුන්ව පුහුණු, සැසිවලට බද්ධ කළ යුතු වෙනවා. එතකොට අපිට පුළුවන් ඉතා ඉහළ මට්ටමක අධ්‍යාපනයක් ලබා දෙන්න. ඒ වගේම තමයි ස්වදේශිකයා නිර්මාණය කර ගැනීමට අවශ්‍ය ආකාරයට අධ්‍යාපනය වෙනස් කළ යුතු වෙන්නේ.
රජය අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප්‍රමාණය මදි කියලා ගොඩක් අය තර්ක කරනවා. නමුත් රජයේ වියදමින් සියයට 30 – 40ක් අතර ප්‍රමාණයක් ඒ සඳහා වසරකට වෙන් කෙරෙනවා. මේක තවත් දරන්න බැහැ. මේක පෞද්ගලික අංශයට දිය යුතු වෙනවා. රටේ ජනතාවට එක පැත්තකින් අධ්‍යාපනය ලබා දෙන අතරම අනිත් පැත්තෙන් ආර්ථිකය සංවර්ධනය කරලා ස්වදේශිකයා, දේශපාලකයා, නායකයා, කළමනාකරුවා ව්‍යවසායක පන්තියක් නිර්මාණය කළ යුතු වෙනවා. ඒ තුළින් අපට පුළුවන් වෙනවා රටේ සංවර්ධනය ළඟා කර ගන්න.
සචිනි චතුරිකා
කැලණිය විශ්වවිද්‍යාලය