ශ්‍රී මහ බෝධි ශාඛාවක් ඔස්ට්‍රේලියාවේ බෙන්ඩිගෝ බෝධිධම්ම විහාර බිමේ රෝපණය කරයි

ශ්‍රී මහ බෝධීන් වහන්සේ යනු බෞද්ධයාගේ මුඳුන් මල්කඩයි. තමන් වහන්සේට බුදුවීමට උපකාරී වූ බෝධීන් වහන්සේට සතියක් ඇස පිය නොහෙළා බලා සිටිමින් බුදුන් වහන්සේ ලෝ වැසියන්ට ලබා දුන් පළමු ආදර්ශය වූයේ කළගුණ සැලකීමයි. ‘අනිමිස ලෝචන පූජාව’ නමින් අප හැඳින්වූ ඒ ආදර්ශය අප අදත් ඉමහත් ගෞරවයෙන් බැතියෙන් යුක්තව සිහි කරමු.

එසේ සිදුහත් තවුසාණන්ට බුදුවීමට උපකාරී වූ බෝධි වාක්ෂය වැඳුම් පිදුම් ලැබිය යුතු වෘක්ෂයක් ලෙස බෞද්ධයෝ සලකන්න වූහ. බෝධි වෘක්ෂය වැඳුම් පිදුම් ලැබිය යුත්තක් බවට බුදුන් වහන්සේ විසින්ද පෙන්වා දී ඇත. ආනන්ද හිමියන් ලවා ‘ආනන්ද බෝධි රෝපණය’ නමින් සැවැත් නුවර බෝධි වෘක්ෂයක් රෝපණය කරන ලද්දේ ද බුදු රජාණන් වහන්සේ නැති අවස්ථාවක වන්දනා මාන කරනු පිණිසය.

බෝධි වන්දනාව එතරම් අතීතයට දිව යන්නකි. මෙරට බෝධි වන්දනාවේ ආරම්භය සිදුවූයේ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී මහ බෝධියේ දක්ෂිණ ශාඛාවක් මෙරටට වැඩම කරවීමෙන් පසුවය. එම දක්ෂිණ ශාඛාව උතුරුකරයේ දඹකොළපටුනට වැඩම කළ අවස්ථාවේදී ලක්දිව රජකළ දේවානම් පියතිස්ස රජු කර වටක් දියට බැස එය පිළිගත්තේය. අනුරාධපුරයට වැඩම කරවීමෙන් පසු දින 7ක් එය ආරක්ෂා කළේය. එතරම් ගෞරවයක් බෞද්ධයන් විසින් බෝධීන් වහන්සේට ලබා දෙන ලදි.

එසේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව යන දෙරටේම බෝධි වෘක්ෂය බෞද්ධ ජනතාවගේ වන්දනා මානයට පාත්‍ර විය. එමෙන්ම බෞද්ධයන් වාසය කරන සෙසු රටවලද බෝධීන් වහන්සේ නමක් රෝපණය කරන්නට බෞද්ධයෝ කටයුතු කළහ.

එහෙත් බෞද්ධ ශාසන ඉතිහාසයේ බුදු දහමේ පණිවිඩය නොලද රටවල්වලට බෝ ගස යන්න අරුමයක් නොවීය. ඔවුන්ට බෝධිය යනු තවත් එක් වෘක්ෂයක් පමණක් විය. එහෙත් පසුගිය දශක කීහිපය තුළ බුදු දහමේ පණිවිඩය ඒ රටවලට යෑමෙන් පසු අන්තර්ජාලය හරහා බුදු දහමේ ගුණදහම් ගැන දැන ගන්න ලැබීමෙන් පසු ඔවුහු ත්‍රිවිධ චෛත්‍යය අගය කළහ. එයින් වෘක්ෂයක් ලෙස බෝධීන් වහන්සේට ගරු කරන්නටද ඔවුහු හුරු වූහ.

එලෙසින් විශේෂිත වූ රටක් ලෙස ඔස්ට්‍රේලියාව හඳුන්වා දිය හැකිය. මේ වන විට ශ්‍රී ලාංකිකයන් රැසක් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට ගොස් ඇත. ඔවුන් අතරින් ද බෞද්ධයන් බොහෝ දෙනෙකි. මේ පිරිස් තමන්ගේ වන්දනා මාන පිණිස එහි විහාරස්ථාන කරා ඇදෙති. ඒවායේ ද බෝධි වෘක්ෂයන් ඇත.

එහෙත් ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ශාඛාවක් එම මහාද්වීපයේ නැත. අප මේ කියන්න යන්නේ ඔස්ට්‍රේලියානු ජාතිකයන් විසින්ම බෞද්ධ සිද්ධස්ථානයක් ගොඩනැඟීම හා එම සිද්ධස්ථානයට තව නොබෝ දිනකින් ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුරයක් රෝපණය කිරීමේ බෞද්ධ ශාසන ඉතිහාසයේ විශේෂිත අවස්ථාවකි.

ඔස්ට්‍රේලියානු ජාතියෙක් වන ඉයන් ග්‍රීන් සිය ඥාති පිරිස සමඟ බුදු දහම සොයා ගොස් ඇත්තේ 1970 දශකයේදීය. ඔවුන් ටිබේට් සම්ප්‍රදායයේ ලාමාවරුන්ගේ බුදු දහම දැන උගත්තේය. ඔවුහු බෞද්ධයෝ වූහ. පසුව ඔහු අක්කර 220ක් පමණ වන විශාල භූමි භාගයක් බොදු කටයුතු පිණිස වෙන් කළේය. ඒ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරයක් වන මෙල්බර්න් නගරයේ සිට කිලෝමීටර් 130ක් පමණ දුරකින් පිහිටි ප්‍රාදේශීය නගරයක් වන බෙන්ඩිගෝ ප්‍රදේශයේය. බෙන්ඩිගෝ යනු වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති විශාලත්වයෙන් දෙවන ප්‍රාදේශීය නගරය වන අතර එම නගරය අතීතයේ රන් ආකර තිබුණු ප්‍රදේශයක් වන අතර වර්තමානයේද රන් ආකර සහිතව ඇති රන් ගම්මානයකි.

එය බෞද්ධයන්ට වැදගත් වන්නේ දකුණු අර්ධගෝලයේ විශාලම බෞද්ධ ස්තූපය ගොඩනඟන ලද ස්ථානය වීමයි. එමෙන්ම මැණික් ගලින් නිර්මාණය කරන ලද ලොව විශාලතම බුදු පිළිමය නිදන් කර ඇති ස්තූපය වන්නේද එයයි.

එම බුදු පිළිමය රටවල් 38ක නගර 120ක ප්‍රදර්ශනය කරන ලදී. එය 2012 වසරේ ශ්‍රී ලංකාවට රැගෙන විත් මහජන ප්‍රදර්ශනයට තබන ලදී. ඉන් පසුව ථෙරවාදී බෞද්ධ වත් පිළිවෙත් සිදු කරන්න ඉයන් ග්‍රීන් ඇතුළු පිරිස විසින් එම සිද්ධස්ථානයේම භූමි පරිත්‍යාගයක් සිදු කරන ලදී. ඒ අනුව බෙන්ඩිගෝ බෝධිධම්ම විහාරය බිහි විය. එහි සභාපති ධුරය දරන දීප්ත වික්‍රමරත්න මහතා එම විහාරයේ බොහෝ බෞද්ධ කටයුතු වෙනුවෙන් උර දුන්නේය. නිරතුරුවම එහි ථෙරවාද කටයුතු වෙනුවෙන් සහාය දැක්වූවේය. එහි විහාරස්ථානයක් ගොඩනැඟුවේ ඉන් පසුවය. ලෝකයේ බෞද්ධ අබෞද්ධ විශාල පිරිසක් ඒ වෙත එන්න වූයේ එයින් පසුවය.

එම විහාරස්ථානයේ ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුරයක් රෝපණය කරන්න කටයුතු කළ යුතු බවට තීරණය වූයේ මේ අතරය. ඒ අනුව බෝධිධම්ම විහාර කමිටුව විසින් එහි ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුරයක් රෝපණය පිණිස එවකට අටමස්ථානාධිපතිව වැඩ විසූ ආචාර්ය පල්ලේගම සිරි නිවාස හිමියන්ගේ ආශිර්වාදය අනුව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකූරයක් 2019 වසරේ ඔක්තෝබර් මස එම විහාරස්ථානයට වැඩම කරවන ලදි. ඒ සමඟම බෙන්ඩිගෝ බෝධිධම්ම විහාරය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ මූලික අඩිතාලම වැටුණි.

එහෙත් විදෙස් රටක ශාකයක් ඔස්ට්‍රේලියාවට ගෙන ඒම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ඒ ඔස්ට්‍රේලියාව යනු ජෛව ආරක්ෂණ නීතිය දැඩිව ක්‍රියා කරන රටක් වන හෙයිනි. එසේ හෙයින් ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුරය රැගෙන යෑමට සිදුවූයේ අංකුරයේ පස් සෝදා හැරීමෙන් පවා පසුවය. ඔස්ට්‍රේලියාවට වැඩම කළ ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුරය එරට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පිළි ගන්නා ලදි. ඔස්ට්‍රේලියානු රජයේ මාධ්‍යවල පවා ඒ පිළිබඳව විශේෂයෙන් පළ කර තිබුණි.

වසර 2500ක් පැරැණි වෘක්ෂයක් ශ්‍රී ලාංකිකයන් විසින් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ බොහෝ දෙනා දැනගත්තේ එම අවස්ථාවේදීය. ඔවුහු පුදුම වූහ. එවන් වෘක්ෂයක අංකුරයක් එරට රෝපණය කරන්න හැකිවීම ගැන එම ජාතිකයෝද උදම් ඇනූහ.

වසර 2500කට අධික කාලයක් රැක ගත් වෘක්ෂයක අංකුරයක් දැක බලා ගැනීමට හැකිවීම ගැන ඔවුහුද සතුටු වූහ. ඒ නිසා ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුරය වසරකට අධික කාලයක් යන තුරු ඔස්ට්‍රේලියානු කෘෂිකර්ම ආයතනය විසින් රැක බලා ගන්නා ලදී. දැන් එම අංකුරය භූමියේ රෝපණය කළ යුතු මට්ටමට පැමිණ තිබේ. ඒ සඳහා දෙරටේම සහභාගිත්වයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ උත්සවයක් සංවිධාන කර ඇත.

බෙන්ඩිගෝ යනු වසරකට ලක්ෂයකට අධික පිරිසකගේ ගෞරවයට වන්දනාවට පාත්‍රවන ස්ථානයක් වන හෙයින් එහි පැමිණෙන බෞද්ධ නොවන හා ශ්‍රී ලාංකික නොවන බහුතර ජනතාවට ශ්‍රී ලාංකීය කලා ශිල්ප කැටයම් දැක බලා ගැනීම පිණිස ලංකාවේ කලාකරුවන් අතින් නිමැවුණු කලා කෘති එහි අන්තර්ගත කිරීම ද බෝධිධම්ම විහාර කමිටුවේ අරමුණ වී ඇත.

මෙහිදී පෙන්වා දිය යුතු තවත් කරුණක් වන්නේ බෙන්ඩිගෝ යනු ශ්‍රී ලාංකික පවුල් 50ක් පමණ ජීවත් වන නගරයක් නිසා මේ කටයුතු වෙනුවෙන් මෙල්බෝන්හි ශ්‍රී ලාංකිකයන්ගේ ද සහාය ලැබී ඇත.

ධර්මාශෝක රජ දවස පවා ඔස්ට්‍රේලියාවට නොලැබුණු බුදු දහමේ ආභාසය හොඳින් ලබා දෙන්න දරන මේ වෑයමේ තවත් පිටුවක් ඒ අනුව පෙරළෙනු ඇත.ඒ එළැඹෙන ජූනි 9 වැනිදාය. එදින ශ්‍රී මහ බෝධි අංකුරය බෙන්ඩිගෝ බෝධිධම්ම විහාරයේ රෝපණය කිරීමෙනි.

ඒ වෙනුවෙන් පැවැත්වෙන රාජ්‍යතාන්ත්‍රික උත්සවයට අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන් ප්‍රමුඛ නාහිමිවරු රැසක් වැඩම කරති. එමෙන්ම ඔස්ට්‍රේලියාවේ මහකොමසාරිස්වරයා ඇතුළු දූත පිරිසක්ද පැමිණෙන අතර ඔස්ට්‍රේලියානු රජය නියෝජනය කරමින් විශේෂ රාජ්‍යතාන්ත්‍රික කණ්ඩායමක්ද සහභාගි වෙති. එසේම වියට්නාමය, චීනය, තායිලන්තය, ලාඕසය ඇතුළු රටවල බෞද්ධ දූත පිරිස් ද මේ අවස්ථාවට සහභාගි වනු ඇත. ජීවිතයේ එක් වරක් දැක ගැනීමට හැකිවන මේ විශේෂිත පුණ්‍යකර්මයට ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් රැසක්ද සහභාගි වනු ඇත.

මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බෙන්ස් හා බෙන්ඩිගෝ බටහිර පාර්ලිමේන්තු මන්ත්‍රී මාරි එඩ්වර්ඩ් විසින් ද විශේෂ සුබ පැතුම් එක් කර තිබේ.

මේ සියලු දෙනාට අමතරව මේ අවස්ථාවට විශේෂිත කණ්ඩායමක්ද සහභාගි වෙති. ඒ ඔස්ට්‍රේලියාවේ වාසය කරන ඇබෝරිජියන්ස්වරුන්ය. ඔස්ට්‍රේලියාවේ විශේෂ වීඩියෝ දර්ශනයන්ද මේ බෝධීන් වහන්සේ සම්බන්ධව සිදු කර ඇත.

මහාද්වීපයක බෞද්ධ සිද්ධස්ථානයක් තවත් සියවස් ගණනක් වෙනුවෙන් ස්ථාපිත කිරීම ගැන බෝධි ධම්ම විහාර කමිටුවේ සභාපති දීප්ත වික්‍රමරත්න ඇතුළු එහි සියලු නිලධාරීන්ට කෘතවේදීත්වය දැක්විය යුතුය.