පාස්කු විමර්ශන අඩපණ කිරීමට ගෝඨාභය පළිගත් හැටි හෙළි කරයි

පාස්කු විමර්ශන අඩපණ කිරීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම විමර්ශ බාරව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් පළිගැනීම් සිදුකළ බව හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න පවසනවා.

මෙම පළිගැනීම සිදුකිරීමට කෙතරම් හදිස්සියක් තිබුනේදයත්, නව ජනාධිපතිවරයෙක් පත්වූ පසු කළ යුතු පළමු කාර්ය, අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩලයක් සහ අමාත්‍යංශ ලේකම්වරු පත් කිරීම වුවත්, ඒ සියල්ලට ප්‍රථම හිටපු ජනාධිපතිවරයා කළ පළමු කාර්ය ශානි අබේසේකරව තනතුරෙන් පහළ තනතුරකට ස්ථාන මාරු කර යැවීම බවයි හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ.

එපමණක් නොව ශානි අබේසේකර යටතේ සේවය කළ අපරාධ විමර්ශන නිලධාරීන් 700 කට අධිකරණ නියෝග නොමැතිව රටින් පිටවීම තහනම් කළ බවද, පාස්කු විමර්ශනය සිදු කරමින් සිටි ප්‍රධාන නිලධාරීන් සියලු දෙනාම අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බැහැරට ස්ථාන මාරු කිරීමට කටයුතු කරමින්, පාස්කු විමර්ශන අඩපණ කළ බවද ඔහු සඳහන් කළා.

ශානි අබේසේකරගෙන් පළි ගැනීම එතනින් නතර නොවූ බවද, ඔහුගේ වැඩ තහනම් කර, අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම හරහා ඔහුව අත්අඩංගුවට ගෙන මාස 11ක් සිරගත කර තැබූ බවද, සිරමැදිරියේ සිටියදීම ඔහුට විශ්‍රාම යෑමට සිදුවූ නමුත්, ඉන්පසු විශ්‍රාම වැටුප පවා ලබා නොදුන් බවද, අවසානයේ ඔහුට විශ්‍රාම වැටුප සාදා ගැනීම සඳහා අධිකරණයට යෑමට සිදුවූ බවයි ඔහු හෙළදරව් කළේ.

පාස්කු විමර්ශනය පමණක් නොව ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ පැහැරගැනීම වැනි සංවේදී විමර්ශන ගණනාවක් සිය පුද්ගලික අධීක්ෂණය යටතේ අවංකව සහ ස්වාධීනව සිදුකිරීමට කටයුතු කිරීම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ අබේසේකර මෙසේ පළිගැනීමට ලක්වූ බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.