කැලණි ගඟේ ගසා ගෙන ගිය කාන්තාව බේරා ගත් අසිත සමන්ත වීරයාට පවුලෙන් උපහාර

පත්තිනි දේවාලය වැදලා ඇවිත් නවගමුව පාලමෙන් ගඟට පැන්නා සිත් වේදනාවෙන් කළත් ඒක මෝඩ වැඩක් – ජයනා කුමාරි සුභසිංහ

‘කැලණි ගං දියේ ගසාගෙන ආ දෙදරු මවක බේරාගත් කඩුවෙල වැලිවිට සමන් අසිත මහතා සහ ඒ සඳහා වෙහෙසුණු කඩුවෙල පොලිසියේ නිලධාරීන් ඇගයමින් ඔවුන්ට කෘතගුණ දැක්වීමට එම අනතුරට මුහුණදී දිවි බේරාගත් කාන්තාව හා ඇගේ ස්වාමිපුරුෂයා ඇතුළු පවුලේ සාමාජිකයන් විසින් ඊයේ (08දා) සවස කටයුතු කරන ලදී.

පොලිස් හදිසි ඇමතුම් 119 අංකය ඔස්සේ ඉකුත් දිනක රාත්‍රී නවගමුව ප්‍රදේශයේ සිට කඩුවෙල දෙසට කැලණි ගඟේ කාන්තාවක් ගසාගෙන යන බවට ලද පණිවිඩය මත වහාම ක්‍රියාත්මක වූ කඩුවෙල පොලීසියේ ස්ථානාධිපති කාන් වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් ඉතා සුළු වේලාවකින් අවශ්‍ය කඹ, විදුලි පන්දම් හා ගඟට බැසීමට අතිදක්ෂයෙකු වූ වැලිවිට සමන් අසිතවද සම්බන්ධ කරගනිමින් ජලරකුසා සමග පොරබදිමින් සිටි කාන්තාව බේරාගැනීමට යුහුසුළු විය.

ඒ වේගවත් සැඩ පහර සමග දෙගොඩතලා යන ගඟ දියට බෝගහවත්ත පාලමේ සිට වැලිවිට සමන් අසිත මහතා (37) තම දිවි නොතකා කඹයක ආධාරයෙන් ගඟට පැන එම කාන්තාව ජල රකුසාගෙන් මුදාගෙන තිබුණි.

මෙසේ කැලණි ගගේ ගසාගෙන ගොස් තිබුණේ දෙල්ගොඩ නාරංවල කිරිකිත්ත ග්‍රීන් පීල්ඩ්හි පදිංචිව සිටි ජයනා කුමාරි සුභසිංහ නැමැති (46) හැවිරිදි දෙදරු මවකි.

ඇය නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ප්‍රතිකාර ලබා පැමිණීමෙන් පසු තම ස්වාමිපුරුෂයාවූ කේ. ඒ. යූ. ඩී. කුමාරපේලි මහතා හා දරු දෙදෙනා සමඟ ඊයේ (08දා) කඩුවෙල පොලිස් ස්ථානයට පැමිණ තම දිවි බේරාදුන් සියලු දෙනා මුණ ගැසී ඔවුන්ට තම කෘතවේදීත්වය පළකර සිටියේ ඉතා හැඟුම්බරවය.

මෙහිදී ඇය සහ ඇගේ ස්වාමිපුරුෂයාවූ කුමාරපේලි මහතා විසින් රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් හා වියළි ආහාර දුව්‍ය සමන් අසිත මහතාට පරිත්‍යාග කළ අතර බේරා ගැනීමේ කටයුතු වල නිරතවූ පොලිස් නිලධාරීන්ට තම කෘතවේදීත්වය පළකර සිටියාය.

මෙහිදී අනතුරට මුහුණ දුන් ජයනා සුභසිංහ (46) මහත්මිය සිය අත්දැකීම මෙසේ විස්තර කළාය.

වසර 15 ක් මම විශේෂ අවශ්‍යතා ඇති මගේ දරුවා රැක බලා ගත්තා. ලබන භවයේදිවත් පරිපූර්ණ දරුවෙක් වෙන්න කියලා පුතා වෙනුවෙන් පිං දහම් කරන්න මට අවශ්‍ය වුණත් මම ගාථා කියනකොට මගේ දිව පුපුරන්න වගේ වේදනා ඇතිවෙනවා. ගෙදර පහන තියන්න බැහැ හරියට කරදර වුණා. මේ ගැන මම කලකිරිලා හිටියේ. එදා මම ගෙදරින් එළියට බැස්සේ පන්සලකට යන්නයි. නාරංවල හන්දියට ගිහින් මම බස් එකේ බියගම බණ්ඩාරවත්තට ආවා. එතැන ඉඳලා පයින්ම නවගමුව දේවාලයට ඇවිත් ගාථා කියලා වැදලා නවගමුව පාලමෙන් මම ගඟට පැන්නා එකවරක් වතුරෙ යට ගිහින් මම වතුර උඩට ආවා පස්සෙ දිගටම ගසානෙ පල්ලෙහාට ගියා . මම බුදුගුණ සිහිකරමින් හයියෙන් ඉතිපිසෝ ගාථාව කිව්වා . මට හිතට බයක් තිබුණේ නැහැ. ⁣

ගොඩ ඉන්න මිනිස්සු මාව දැකලා විස්තෝප වුණා. එක තැනකදී ගඟේ සුළියකට මම කැරකිලා නැවත පල්ලෙහාට ගියා. බෝගහවත්තේ පාලම ගාව දී මාව බේරාගෙන ගොඩට අරන් රෝහලට ගෙනාවා. මම පසුව දැනගත්තේ කිලෝමීටර් 09 ක් මම ගසාගෙන ඇවිල්ලා කියලා.

නමුත් මම ගෙඟට පැන්නේ හිත් වේදනාවට වුණත් ඒ ක්‍රියාව ලොකු මෝඩකමක් කියලා දැන් මට තේරෙනවා. මේ නිසා මගේ මහත්තයා දරුවෝ සමීපතමයින් කොච්චර කරදර වුණාද දුක් වුණාද කියලා මම දන්නවා. කාටහරි ලොකු ප්‍රශ්නයකදී හිත්වේනාවක් ආවොත් තමන්ගේ ආගම ධර්මය මෙනෙහි කරලා ඒ අවස්ථාව මග හරව ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. මගේ ජීවිතය රැක ගන්න කටයුතු කළ සියලු දෙනාටත් විශේෂයෙන් සමන් අසිත මහතාටත් කඩුවෙල පොලිස් ස්ථානාධිපති කාන් වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන්ටත් මම පිං දෙනවායැයි ඇය කීවාය.

# වැලිවිට පදිංචි සමන් අසිත මහතා (39) මෙසේ කීය.

මම කම්කරැ රැකියාවක් කරන්නේ. එදා වැඩ ඇරිලා ගෙදර එනකොට බෝගහවත්ත පාලම හන්දියේදී ලොක්කඅයියා මට මේ සිදුවීම කීවා. මම ඉක්මනින් පාලම ගාවට දිව්වා. පොලිසියේ මහත්වරු ගමේ අය එතන හිටියා.

විශාල සැඩ පහරක් තිබුණා. අවධානම නොතකා මැරෙන්න යන ජීවිතයක් බේරගන්නවා කියා මම අධිෂ්ඨාන කර ගත්තා. ටෝච් එළිවලට ගඟ මැද ඈතින් ගසාගෙන එන කාන්තාව මම දැක්කා .

දකුණු අතේ කඹය ඹතාගෙන මම පාලමෙන් ගග මැදට පැන්නා. අනිත් අතින් කාන්තාව හිරකර අල්ලගත්තා ඔරුවක ආධාරයෙන් ඇය ගොඩට ගෙනාවා.

# කඩුවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතා සිය අත්දැකීම මෙසේ කියා සිටියේය.

119 හා පොලිස් මූලස්ථානයෙන් මේ පණිවිඩය අපට ලැබුණා.

අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චතුරංග ඇතුළු අපේ කණ්ඩායම මුලින්ම කඩුවෙල පාලම ගාවට ජීප් එකේ ගිහින් බැලුවා. කාන්තාව එතනින් පහළට ඒ මොහොතේ ගසාගෙන ගිය බව එතන හිටිය කෙනෙක් කීවා.

අපි බෝගහවත්ත පාලම ගාවට ගියේ කොහොමහරි ඇය බේරාගන්නවා කියන අධිෂ්ඨානයෙන් . අපි එතෙන්ට ගිහින් ගමේ අයගෙන් උදව් ඉල්ලා කෑ ගැසුවා. ගම් වැසියන් විදුලි පන්දම් කඹ ආදිය අරගෙන දුවන් ආවා. සමන් අසිත ඒ මොහොතෙම පාලම අසලට ආවා.

සමන් අසිත කඹය අතේ ඔතාගෙන ගඟට පැනලා කාන්තාව අල්ලා ගත්තා. අපි ඔරුවක් යවලා ඇය ගොඩට අරන් ඒ මොහොතෙම ජීප් එකේ දාගෙන මුල්ලේරියාව රෝහලට ඇයව ඇතුළු කළා.

මෙම අවස්ථාවට නුගේගොඩ සහකාර පොලිස් අධිකාරී 07 එස්. ඒ. ආර්. සමරනායක, කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ , අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චතුරංග යන නිලධාරීහූ ද සහභාගි වූහ.

සුදත් පුබුදු කීර්ති – දෙල්ගොඩ සමුහ