අයිති නැති අත්ස­නක් පිළි­ගන්නවී තැවුලට පත් තරුණ හමුදා නිලධාරිනිය දුම්රියේ ගැටී මියයයි

නොකළ වර­දක් භාර ගන්නැයි ඉහ­ළින් ආ බල­පෑම් ගැන තැවු­ලින් සිටි යුද හමු­දාවේ තරුණ දෙවැනි ලුති­න­න්ව­රියක නුවර-කොළඹ අන්තර් නගර දුම්රියේ ගැටී මියයාමේ සිදුවීමක් ගැන පරීක්ෂණ ආරම්භ කර තිබේ. මේ කියන දෙවැනි ලුති­න­න්ව­රි­ය ඊයේ (7) උදේ මහ­නු­වර සිට කොළඹ බලා ගමන් කළ අන්තර් නගර ශීඝ්‍ර­ගාමී දුම්රියේ ගැටී මර­ණ­යට පත් වූ බව පරී­ක්ෂ­ණ­ පව­ත්වන මීරි­ගම පොලි­සිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ හිඟු­ර­ක්ගොඩ යුද හමුදා කඳ­වු­රක සේවයේ නියු­තුව සිටි මීරි­ගම ලින්දර පමු­ණු­වත්ත ප්‍රදේ­ශයේ පදිං­චි­කා­රි­යක වූ ගම­රා­ල­ලාගේ නිෂ්මි හසාරා ගමගේ නමැති 23 හැවි­රිදි අවි­වා­හක තරු­ණි­යකි.

මිය­ගිය තරු­ණිය දෙව­ස­ර­කට ඉහ­තදී යුද හමු­දාවේ දෙවැනි ලුති­න­න්ව­රි­යක ලෙස සේව­යට එක්ව ඇති බවද ඉකුත් 29 දින නිවාඩු ලබා නිවෙ­සට පැමිණි ඇය පසු­දි­නම පරී­ක්ෂ­ණ­යක් සඳහා දිය­ත­ලාව කඳ­වු­රට කැඳවා ඇති අතර පසුව වෙනත් දින­යක් ලබා දී ඇති බවද මූලික පරී­ක්‍ෂ­ණ­ව­ලදී හෙළි වී ඇත.

ඒ අනුව ඇය 4 දා හිඟු­ර­ක්ගොඩ කඳ­වු­රට ගොස් නිල ඇඳුම් ලබා­ගෙන පසු දින දිය­ත­ලාව කඳ­වු­රේදී අදාළ පරී­ක්ෂ­ණ­යට පෙනී සිට ඇත. එදින රාත්‍රි­යේම ගණේ­මුල්ල වෙසෙන සිය සොහො­යු­රාගේ නිවෙ­සට පැමිණි ඇය පසුව නිවෙ­සට පැමිණ සිටි අත­ර­තුර ඊයේ (7) උදේ මෙසේ දුම්රියේ ගැටී­මෙන් බර­ප­තළ තුවාල ලබා මර­ණ­යට පත්ව ඇතැයි පොලි­සිය කියයි.

අන­තුර හේතු­වෙන් දෙවැනි ­ලු­ති­න්ව­රි­යගේ දෙපා ඉණ ප්‍රදේ­ශ­යෙන් සම්පූ­ර්ණ­යෙන්ම වෙන් වී ඇති අතර, ඇයගේ සිරුරේ කොටස් මීරි­ගම දුම්රිය ස්ථානයේ තිබි­යදී පරී­ක්ෂා­වට ලක් කළ මීරි­ගම හදිසි මරණ පරී­ක්‍ෂක වෛද්‍ය තුසිත ප්‍රමෝද් විජේ­ව­ර්ධන මහතා එහිදී මිය­ගිය අයගේ මව වන කේ.ටී. මානෙල් ශ්‍රියා­ලතා (56) මහ­ත්මි­යගේ සාක්ෂි සට­හන් කර­ත්තේය. එහිදී උප­ලු­ති­න්ව­රි­යගේ මව මෙසේ පැව­සු­වාය:

“දිය­ණිය නිවාඩු ආ දව­සේම රාත්‍රියේ පරී­ක්ෂ­ණ­යක් සඳහා දිය­ත­ලා­වට එන්න කියා පණි­වි­ඩ­යක් ලැබුණා. ඇය එහාට මෙහාට කතා කිරී­මෙන් පස්සේ ඒ සඳහා වෙනත් දින­යක් ලැබුණා. දිය­ණිය පසු­ගිය දෙසැ­ම්බ­ර්ව­ලදී වැඩි­දුර පුහු­ණු­වක් සඳහා හම්බ­න්තොට ප්‍රදේ­ශ­යට ගොස් සිටි­යදී කඳ­වුරේ පැවති බඩු ගණන් ගැනීමේ පරී­ක්ෂ­ණ­ය­කට ඇය සහ­භාගි වූ බවට චෝදනා කර තිබුණා. ඇය කිවුවේ ඒ පරී­ක්ෂ­ණ­යට තමා සහ­භාගි නොවූ බවයි. ඒ අනුව ඇය පසුව 5 දා දිය­ත­ලාව කඳ­වුරේ පරී­ක්ෂ­ණ­යට පෙනී සිටියා. ඇය එහි සිට මට කතා කර පැව­සුවේ අදාළ ලේඛ­නයේ ඇති අත්සන තමාගේ නොවන බවයි.
ඒ බවට ඇය ලිපි­යක් දුන් බවද පැව­සුවා. අත්සන තමාගේ බව පිළි­ගන්නා ලෙස එහි කපි­ත­න්ව­ර­යකු බල­පෑම් කළ බවද ඇය සඳ­හන් කළා.

“නිවෙ­සට පැමිණි පසු ඇය මිතු­රි­යක හා කළ කතා­බ­හේදී පරී­ක්ෂණ මණ්ඩ­ලයේ සිටි නියෝජ්‍ය අණ දෙන නිල­ධා­රි­යකු ඉතා අසභ්‍ය ආකා­ර­යට ඇයට බැණ­වැදී ඇති බව මට දැන­ගන්න ලැබුණා. මේ අතර ඇය අද යළි රාජ­කා­රි­යට වාර්තා කිරී­මට නිය­මි­තව තිබුණා. ඒ අතර නැව­තත් ඇයට අද දිය­ත­ලා­වට පැමි­ණෙන ලෙසට දැනුම් දීමක්ද තිබුණා. දිය­ණිය පැව­සුවේ තමා මේ වරද නොකළ බව බවයි.”

වැඩි­දුර පරී­ක්ෂණ කට­යුතු පසු­වට කල් තැබූ හදිසි මරණ පරී­ක්ෂ­ක­ව­රයා දේහය පිළි­බඳ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පවත්වා වාර්තා­වක් දෙන ලෙස වතු­පි­ටි­වල මූලික රෝහලේ අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රි­යාට නියෝග කළේය.

දෙවැනි ලුති­න­න්ව­රි­යගේ මර­ණය සැල වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ හමුදා නිල­ධා­රීන් ඇතුළු හමුදා නිල­ධාරි කණ්ඩා­යම් කිහි­ප­යක්ද පැමිණ, තොර­තුරු විම­සනු දක්නට ලැබිණි.

(කොට­දෙ­ණි­යාව – එම්. පුෂ්ප­කු­මාර)