පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පුරාවස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ලෝහමය බුදු පිළිමයක් සොයාගැනීම පිළිබඳව අදාළ බලධාරීන්ට දැනුම් නොදුන් බවට සහ චේතනාන්විතවම ඒ ලෝහමය බුදු පිළිමයේ දකුණු බාහුව වෙන් කර, කන් පෙති කඩා ඉවත් කර හානි කළ බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු එකී චෝදනා දෙකටම වරදකරු බවට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා තීන්දු කළේය.
ඒ අනුව විත්තිකාර පොලිස් පරීක්ෂකවරයාට දඬුවම් නියම කිරීම ලබන ජූලි 18 දින දක්වා කල් තැබූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද විත්තිකාර හිටපු පොලිස් පරීක්ෂකවරයාට නියෝග කළේය. මෙසේ වරදකරු වූයේ පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවය කළ මිරිහාන පොලිස් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට අනුයුක්ත කර සිටි හිටපු පොලිස් පරීක්ෂකවරයකු වූ දැරණියගල වංචනායකගම ලිපිනයේ තුෂිත සම්පත් බණ්ඩාර නමැත්තෙකි.
මේ සිද්ධිය වූ 2005 වසර වකවානුවේ ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිල රථය සංවිධානාත්මක කොල්ල කල්ලියක් විසින් අඹේපුස්ස ප්‍රදේශයේදී පැහැරගෙන එල්ටීටීඊ සංවිධානයට දීම සඳහා මැදවච්චිය මන්නරාම් මාර්ගය ඔස්සේ උතුරු ප්‍රදේශයට රැගෙන යෑමේ අරමුණින් පුල්එලිය විහාරස්ථානය අසල කැලෑබද ප්‍රදේශයක සඟවා තැබීම සම්බන්ධයෙන් විමර්ශන කර අදාළ නිල රථය සොයාගෙන සිය භාරයට ගැනීමේ රාජකාරි නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසින් පවරා ඇත්තේ මේ විශේෂ කාර්ය බළකා පොලිස් පරීක්ෂවරයාට බව අධිකරණයේදී අනාවරණ විය.
ඒ අතරතුර විත්තිකාර පොලිස් පරීක්ෂකවරයා මේ වරද සිදු කර ඇති බවද අධිකරණ නඩු විභාගයේදී හෙළි විය. 2005 අගෝස්තු 4 දින හෝ ඊට අසන්න දිනයක මිරිහාන විශේෂ අපරාධ මෙහෛයුම් ඒකකයට අනුයුක්තව පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකරයකු ලෙස සක්‍රිය සේවයේ යෙදී සිටින අතරතුර විත්තිකරු මේ වරද සිදු කර ඇති බවට නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ නඩුව පවරා තිබිණි.