නැවතත් වැස්ස වැඩි වෙයි

කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසා තිබේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් එම ජලාශවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව එම ඉංජිනේරුවරු සඳහන් කරයි.

මෙම ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමග විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදුකෙරෙන බව සඳහන්ය.

මේ අතර දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (08) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බවය. 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.