දුම්රිය වර්ජනය හේතුවෙන්  ගමන්වාර 32ක් අවලංගුවේ – අද පස්වරුවේ සියලු දුම්රිය අවලංගු වීමට ඉඩ !

අද (07) දුම්රිය වර්ජනය හේතුවෙන්  ගමන්වාර 32ක් අවලංගු කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙයි.

ඒ, ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් දුම්රිය රියදුරු සංගමය විසින් දියත් කළ වැඩ වර්ජනය හේතුවෙන් මෙලෙස දුම්රිය අවලංගු වී ඇත.

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී ඇති බව වාර්තා වෙයි.

දුම්රිය රියදුරන් මෙම වර්ජනයට එක්වී සිටින අතර මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුනොවන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක මහතා පැවසීය.

අද පස්වරුවේ ධාවනය වන සියලු දුම්රිය අවලංගු වීමට ඉඩ ඇති බවද එස්.ආර්.සී.එම් සේනානායක මහතා වැඩිදුරටත් සදහන් කළේය.