ඩෙංගු හිස ඔසවයි – ගෙවුණු පස් මාසයට රෝගීන් 25,000 ක්

ගෙවී ගිය මාස පහක කාලය තුළ ඩෙංගු රෝගීන් 25,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ බවත් එම කාලය තුළ ඩෙංගු වැලඳුණු 9 දෙනකු මරණයට පත් වූ බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඊයේ (6) පැවසීය.

පවතින ජල ගැලීම් තත්ත්වය හමුවේ ඩෙංගු රෝගය වසංගතයක් දක්වා වර්ධනය විය හැකි බැවින් ඩෙංගු මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළට පූර්ණ මහජන සහය අත්‍යවශ්‍ය බවත් හෙතෙම කීවේය. මෙය හුදෙක් සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොව ආර්ථික හා සමාජීය ප්‍රශ්නයක් වන අතර මහජන සහය නැතිව සෞඛ්‍ය අමාත්‍යංශයට පමණක් ඩෙංගු රෝගය මර්දනය කළ නොහැකි බවත් ඒ මහතා කීවේය.

විශේෂයෙන් කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, මහනුවර, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල රෝගීන් වාර්තා වීමේ වැඩි වීමක් පෙන්නුම් කෙරෙන බව මෙහිදී පැවසූ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය ඩෙංගු රෝගය වළක්වා ගත හැකි මූලිකම ක්‍රමය වන්නේ මදුරුවා බෝවීම වැළැක්වීම බවත්, ඒ සඳහා ජනතාවගේ වගකීම වන්නේ නිවෙසේ, පාසලේ හෝ සේවා ස්ථානයේ මදුරුවන් බෝ වන ස්ථාන ඉවත් කිරීම බවත් පැවසුවාය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, ජාතික බෝ වන රෝග ආයතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කීවේ මේ කාලය තුළ අධික උණ, ඇඟපත වේදනාව, වමනය, අධික හිසරදය, පාචන තත්ත්වය වැනි ලක්ෂණ තිබේ නම් එය ඩෙංගු රෝගය ලෙස සිතීම වඩාත් වැදගත් බවයි. මේ රෝග ලක්ෂණ තිබේ නම් මුලින්ම ශාරීරකව විවේක ගැනීම අත්‍යවශ්‍ය බවද පැරසිටමෝල් හැර වෙනත් වේදනා නාශක හෝ වෙනත් ඖෂධ නොගත යුතු බවද ඔහු වැඩි දුරටත් කීවේය. රෝග ලක්ෂණ දින දෙකකට වඩා පවතිනවා නම් සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් (FBC) සිදු කර රජයේ රෝහලකින් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බවත්, කැඳ, ජීවනී, තැඹිලි, දෙහි වැනි ලවණ සහිත දියර වර්ග පානය කිරීමට වග බලා ගත යුතු බවත් කී විශේෂඥ වෛද්‍යවරයා රතු පැහැති හෝ කෘත්‍රිම රසායනික අඩංගු දියර වර්ග නොගෙන සිටීම වැදගත් බවද කීය.

කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ උපදේශක ප්‍රජා වෛද්‍ය/ ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය බුද්ධික මහේෂ් මහතාද මෙහිදී අදහස් පළ කළ අතර, කීට විද්‍යාඥ සකුන්තලා ජානකී, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය එන්. අරිෆ්, වෛද්‍ය සුනිත් කුමාරප්පෙරුම, ආර්.කේ.එස්.ඊ. රණවීර මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.