පසුගිය පැය 24කදී ගං වතුරෙන් මරණ 10ක් – අදත් තද වැසි!

දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලුණු දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඇළ, දොළ, ගංගා පිටාර ගැලීම්, නායයාම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුකොටගෙන ඊයේ (02) සවස 6.00න් අවසන් වූ පැය 24 තුළ පුද්ගල මරණ 10ක් වාර්තා වී තිබේ. ඇලපාත 21 හැවිරිදි කාන්තාවක සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් මිය යාමක්, කිරිඇල්ලේ කාන්තාවක ගසක අත්තක් කඩා වැටී ඊට යටවී මිය යාමක්, ඇහැලියගොඩ නි‍ෙවසක් මතට වැටුණු පස් කණ්ඩියකට යටවී 11 හැවිරිදි දැරියක මිය යාමක්, අයගමදී ජලයේ ගසාගෙන ගොස් පිරිමි පුද්ග‍ලයකු මිය යාමක්, ගම්පොළ අටබාගේ දී මාර්ගය අතු ගාමින් සිටි කාන්තාවක එකවර පැමිණි සැඩපහරකට හසුවී ගසාගෙන ගොස් මිය යාමක්, අකුරැස්සේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී පිරිමි පුද්ගලයින් දෙදෙනකු මිය යාමක් පුවක්පිටියේ දියේ ගිලී තිදෙනකු මිය යාමක් ආදි ලෙස මෙසේ වැසි හා ගංවතුර හේතුවෙන් මරණ වාර්තාවී තිබේ.

මේ හැරුණුකොට මාතර දිස්ත්‍රික්කය තුළ අතුරුදන්වීම් දෙකක් ද වාර්තා වී තිබේ. එසේ අතුරුදන්ව ඇත්තේ ළමුන් දෙදෙනෙකි.

අධික වර්ෂාව හේතුවෙන් ගංඟා, ඇළ දොළ පිටාර ගැනීමෙන් බස්නාහිර පළාතේත් මාතර හා ගාල්ල දිස්ත්‍රික්කවලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල නිවාස වහලවල් නොපෙනෙන ප්‍රමාණයට ජලය පිරී තිබුණු අතර මහා මාර්ග රැසක වාහන ගමනාගමනයට ද බාධා එල්ලවී තිබුණි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරු වෙත වහාම නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.

පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් කළු, කැලණි, ගිං සහ නිල්වලා ගංගා ඊයේ වන විට ට ගංවතුර තත්ත්වයට පත් වී තිබුණි. වර්ෂාපතන තත්ත්වය නිසා අත්තනගලු ඔය ද්‍රෝණිය ඊයේ(02) පස්වරුව වන විට ගංවතුර තත්ත්වයකට පත්වීමේ අනතුරුදායක තත්ත්වයකට පැමිණ තිබිණ. මේ නිසා අත්තනගල්ල, ගම්පහ, ජාඇල, කටාන, ඒකල වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අත්තනගලු ඔය සහ උරුවල් ඔය පහත් බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව ද අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

වැසි සහ ජල ගැලීම් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ සහ මහා මාර්ග, දුම්රිය මාර්ග, අධිවේගී මාර්ග අවහිර විය. ඇතැම් මාර්ගවල පාලම් කඩා වැටීම්, ගස් කඩා වැටීම්, දේපළ හානි සිදුවීම් ඇතිවිය.

ඊයේ පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 436.5ක් ලෙස ඇහැලියගොඩින් වාර්තා විය. මෙම අගයට වැඩි වර්ෂාපතනයක් 2017 මැයි 25 දින කුකුළේ ගඟින් වාර්තා වී තිබේ. එය මිලිමීටර් 553ක් බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

හල්වතුර වතු යායට මි.මී 349ක් ද, මාකෙළි ඇල්ලට මි.මී 301.5ක් ද, අගලවත්තට මි.මී 297ක් ද, දැරණියගල තේ කර්මාන්තශාලා ප්‍රදේශයට මි.මී 294ක් ද, රත්නපුරට මි.මී 281.9ක් ද,ශාලාව වතු යායට මි.මී 280.5ක් ද, දිද්දෙණිපොත තේ කර්මාන්ත ශාලාවට මි.මී 269.5ක් ද, දූලි ඇල්ල තේ කර්මාන්ත ශාලාවට මි.මී 266ක් ද, බටුවන්ගලට මි.මී 264.2ක් ද, දෙල්වල තේ කර්මාන්ත ශාලාවට මි.මී 259ක් ද බෝගොඩ තේ කර්මාන්ත ශාලාවට මි.මී 232ක් ද, හංවැල්ලට මි.මී 230ක් ද, වෝගන් වතුයායට මි.මී 224.3ක් ද, මාළිබොඩට මි.මී 220ක් ද, ලක්ස කන්දට මි.මී 202.5ක්ද, ගුරුළුවානට මි.මී 198ක්ද, කිරිඇල්ලට මි.මී 190.5ක්ද, දෙණියාය තේ වතු යායට මි.මී 183.5ක්ද, අතුරලියට මි.මී 169 ක්ද, හිනිදුමට මි.මී167.5ක් ලෙස ද වර්ෂාපතනයන් ඊයේ (02) පෙරවරු 8.30 වන විට වාර්තා විය.

බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව අද (03) දින පස්වරු 2.00 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද දෙපාර්තමේන්තුවේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින මෙම වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. ඊයේ (02) සිට ඇදහැලෙන දැඩි වර්ෂාවට නිරිතදිග මෝසම සහ සුළං රටාවේ කැලඹිලි ස්වභාවයක් හේතු වූ බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවැසීය.

කළු, කැලණි, ගිං, නිල්වලා යන ප්‍රධාන ගංගා ද්‍රෝණිවලට නිකුත් කර තිබෙන ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන අද (03) සහ 04 දින දක්වා වලංගු බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එස්.පී.සී සුගීස්වර මහතා පැවැසීය.

ඊයේ (02) පස්වරුව වන විට කළු, ගිං, නිල්වලා ගංගා ද්‍රෝණිවල ඇතැම් ස්ථානවල විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් පැවතිණ.ගිං ගඟ තවලම ප්‍රදේශයෙනුත්, නිල්වලා ගඟ අකුරැස්ස සහ පිටබැද්දර ප්‍රදේශවලිනුත්, කළුගඟ ඉංගිරිය ආසන්න ප්‍රදේශයේදීත් එහි අතු ගංගාවක් වන කුඩාගඟ බුලත්සිංහල ප්‍රදේශයේදීත් විශාල මට්ටමේ ගං වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී පැවතුණු බව ද සුගීස්වර මහතා සඳහන් කළේය.

ප්‍රදේශ වශයෙන් කළු ගඟ ද්‍රෝණියේ බුලත්සිංහල, පාලින්දනුවර සහ දොඩංගොඩ වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර තිබේ. මේ සඳහා හේතුවී ඇත්තේ කුකුළේ ගඟ විදුලි බලාගාර ජලාශය මේ වන විට තත්පරයට ඝන මීටර් 500ක ධාරිතාවකින් පිටවාන් දොරටු විවෘත කර තිබීම බවද ඔහු පැවැසීය. කැලණි ගඟ ද්‍රෝණිය ද මේ වන විට ගංවතුර මට්ටමක පවතියි. එම නිසා සීතාවක, දෙහිඕවිට, රුවන්වැල්ල, දොම්පේ, කඩුවෙල, කොළොන්නාව සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කැලණි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට පවතින ගංවතුර බලපෑම තවදුරටත් අද (03) වන තෙක්ම වර්ධනය වනු ඇති බව ද ඔහු සඳහන් කළේය. විශාල මට්ටමේ ගංවතුරක් කැලණි ගඟ ද්‍රෝණියෙන් බලාපොරොත්තු නොවන බව ද ඔහු පැවැසීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගරය හරහා ගලා බසින කිරම ඔයේ ජල මට්ටමත් ඇතැම් ස්ථානවලින් ගංවතුර තත්ත්වයකට පත්ව තිබේ.

පවතින අධික වශයෙන් තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පාදුක්ක පාලින්දනුවර, මතුගම, බුලත්සිංහල, ඉංගිරිය, රුවන්වැල්ල, දෙහිඕවිට, දැරණියගල, වරකාපොළ, යටියන්තොට, රත්නපුර, අයගම, පැල්මඬුල්ල, කුරුවිට, ඇලපාත, නිවිතිගල, කලවාන, කිරිල්ල, ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයාම් පිළිබඳව ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇත. කොළඹ, ගාල්ල, හම්බන්තොට, කළුතර, නුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පනස් අටක් සඳහා නාය යම් පිළිබඳ දෙවැනි අදියරේ සහ පළමු අදියරේ අනතුරු ඇඟවීම් කර තිබේ. මෙම අනතුරු ඇඟවීම අද (03) පස්වරු 4.00 දක්වා වලංගුවේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ පසුවනවිට කණ්ඩි කඩාවැටීම් 21ක් ද ගල් පෙරළීම් 05ක් ද වාර්තා විය. තම නිවාස අවට පවතින පස් කණ්ඩි සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙස ජනතාවගෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටියි.

තංගල්ල සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි අතර එම මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ද නාවික හා ධීවර ප්‍රජාවට දැනුම් දෙනු ලැබේ. එමෙන්ම ගිනිකොන දිග සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් හැට හැටපහක ඉතා තද සුළං සහ වැසි පවතින නිසා එම මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙස ද රතු නිවේදන නිකුත් කරමින් ඉල්ලා සිටියි.

උපාලි කරුණාරත්න