ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධ නඩුවකට වරදකරුවෙකු බවට පත්වෙයි

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික වාර්තා අසත්‍ය ලෙස සකස් කිරීම ඇතුළු 34කට අදාළව වරදකරු වන බවට මෑන්හැටන් ජූරි සභාවක් තීන්දු කර තිබෙනවා.

අමෙරිකානු ඉතිහාසයේ අපරාධ චෝදනාවකට වරදකරු වූ පළමු ජනාධිපතිවරයා ලෙසද ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාස ගතවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල් චිත්‍රපට නිලියක වූ ස්ටෝමි ඩැනියෙල්ස් සමග පැවැත්වූ සබඳතා වසන් කිරීම සඳහා 2016 වසරේ ජනාධිපතිවරණය ආසන්නයේදී ඇයට ඩොලර් 130,000 ක මුදලක් ගෙවීමත්, පසුව ඒ වෙනුවෙන් වංචනික මූල්‍ය වාර්තා නිකුත් කිරීමත් සම්බන්ධයෙන් මෙම අපරාධ නඩුව විභාගයට ගෙන තිබුණා.

නඩුව සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීම ජූලි 11 වැනිදා සිදු කිරීමට නියමිත අතර විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඔහුට දඩ මුදලක් නියම වනු ඇති බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂිතයා ලෙස තරඟ වැදීමට අපේක්ෂාවෙන් සිටිනවා.