දියවැඩියාව නිට්ටාවට සුවකළ හැකි චීන සෛල බද්ධ සොයාගැනීම සාර්ථකයි

වෛද්‍ය විද්‍යාවේ සන්ධිස්ථානයක් සටහන් කරමින්, චීන විද්‍යාඥයන් පිරිසක් සෛල ප්‍රතිකාරයක් භාවිත කර රෝගියෙකුගේ දියවැඩියාව සාර්ථකව සුවකළ හැකි ක්‍රමයක් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පුරෝගාමී ප්‍රතිකාරය චීනයේ විද්‍යා ඇකඩමිය යටතේ අණුක සෛල විද්‍යාවේ විශිෂ්ටතා මධ්‍යස්ථානය වන ෂැංහයි චැංෂෙන්ග් රෝහල සහ රෙන්ජි රෝහලේ කණ්ඩායමක් විසින් නිපදවා තිබේ.

මෙම නව ප්‍රතිකර්මය ලොව පුරා මිලියන ගණනක් දියවැඩියා රෝගීන්ට මහත් අත්වැසිල්ලක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මෙහිදී සිදු වන්නේ, ඉන්සියුලීන් එන්නත් කිරීම වෙනුවට, අගන්‍යාසයේ ඉන්සියුලීන් නිපදවන සෛලවලට සමාන සෛල කෘත්‍රිමව පර්යේෂණාගාර තළ නිපදවා, ඒවා දියවැඩියා රෝගීන්ට බද්ධ කිරීමය.

සවුත් චයිනා මෝනිං පෝස්ට් වාර්තාවකට අනුව, රෝගියාට 2021 ජූලි මාසයේදී සෛල බද්ධ කිරීම සිදුකර තිබේ.

කැපීපෙනෙන වර්ධනයක් ලෙස, සති එකොළහක් ඇතුළත, ඔහුට තවදුරටත් බාහිර ඉන්සියුලින් අවශ්‍ය නොවීය.

ඊළඟ වසර තුළ, ඔහුගේ රෝගී තත්වය ක්‍රමයෙන් අඩු වූ අතර අවසානයේ රුධිරයේ සීනි පාලනය සඳහා මුඛ ඖෂධ ගැනීම නතර කර ඇත.

පසු විපරම් පරීක්ෂණ මගින් රෝගියාගේ අග්න්‍යාශයේ ක්‍රියාකාරිත්වය ඵලදායි ලෙස යථා තත්ත්වයට පත් වී ඇති අයුරු පෙන්නුම් කරන බව පර්යේෂකයින් පවසා තිබේ.

රෝගියා දැනට මාස 33 ක් තිස්සේ ඉන්සියුලින් ලබාගෙන නොමැති බවද පර්යේෂකයන් පවසයි.