ඇල්ල යන එංගලන්ත තරුණියගේ බඩුත් සමග හොරා අත්අඩංගුවට

එංගලන්ත ජාතික තරුණියකගේ  ඩොලර් 20 000 ක පමණ වටිනා දේපළ අඩංගු බෑගය  පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පොලේ බස් රථයක් තුළදී සොරාගත්  පුද්ගලයා කැලණිය පෙතියාගොඩ දී අත්අඩංගුවට ගත් බව  පිටකොටුව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු සංචාරක වෙළෙන්දෙක් ලෙස කටයුතු කළ පුද්ගලයෙක් බව පොලිසිය කියයි.

එම සැකකරු සොරාගෙන තිබූ ලැප් ටොප් පරිගණකය කැමරාව, බැංකු කාඩ්පත්  හා ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු සියලුම දේපළ පොලිසිය මගින් සොයාගෙන ඇත .

ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක වීඩියෝ පටයක් සකස් කිරීම මෙරටට පැමිණ ඇල්ල බලා යාම සඳහා පිටකොටුව බැස්ටියන් මාවත බස් රථයක  විදෙස් තරුණිය සිය ගමන් බෑග් තබා තිබියදී සැකකරු ඔහු රැගෙන ආ බෑගය එහි තබා ඇයගේ දේපල අඩංගු බෑගය සොරාගෙන ගොස් තිබිණි .

බස් රථයේ  සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ ලබාගත් ඡායාරූප  තොරතුරු කරුවන් ඔස්සේ රහසිගත ලෙස ප්‍රසිද්ධ කර ලබා ගත් තොරතුරු කලකට පෙර බස් රථවල  ස්ටිකර් අලවිකල පුද්ගලයකු බවට හඳුනා ගැනීමෙන් අනතුරුව සැකකරු  අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි .

 සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරාගත් කැමරාව රුපියල් දෙලක්ෂ පනස්දහකට දොම්පේ  ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදීත්, ලැප් ටොෆ් පරිගණකය  රහස් අංකය විනාශ කිරීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථානයකට රුපියල් 5000 කට අත්තිකාරම් මුදලක් ගෙවා ලබාදී  තිබියදීත් සෙසු භාණ්ඩ සැකකරු සන්තකයේ තිබියදී සොයාගැනීමට හැකිවූ බව පිටකොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතා පැවසීය.

“අන්ඩර් ද සේම් ස්කයි ” නමින් යූබ්ටියුබ් චැනලයක් පවත්වාගෙන යන  ස්කයි මැක්ගෝවන් නමැති තරුණිය රටවල් 37ක සංචාරය කර ඇති තැනැත්තියක් බවත් ඉකුත් 24 වෙනිදින  මෙරට සංචාරය සඳහා පැමිණ තිබූ බව පොලිසිය කියයි