මහත්තයා එනකම් දරුවා තියාගන්න කීවත් කළේ නෑ මේ ප්‍රශ්න ඔක්කොම ඒකෙන්
පරස්පරව ඉදිරිපත් කරන අදහස් දිගු කතාවන්ට මඟ පාදන්නේය. එවැනි අවස්ථා පුවත් මැවීමටද හොඳ මූල බීජයන්ය. නොසැලකිල්ල, කම්මැළිකම, නොසලකා හැරීම, නිසි මොහොතේ නිසි දේ නොකිරීම, හරි දේ කිරීමට කල් ගැනීම යන මේ හැම අවස්ථාවකින්ම සිදුවන්නේ නොසිතූ විරූ කතාවන්ට මුල පෑදීම මෙන්ම සියලු නෙත් සිත් සැකය දෙසට යොමු කරන අවස්ථාය.
එවැනි සැකය මූලික කරගත් කතා රැසකට මඟ පෑදු සිදුවීමක් පසුගියදා වාර්තා වූයේ මාතර කොටවිල නව දිස්ත්‍රික් රෝහලෙනි. ඩබ්ලිව්.ඒ. කාවින්ද්‍යා මදුශානි හා ආර්.එච්. සජිත් චතුර වැලිගම කොහුණුගමුව ප්‍රදේශයේ පදිංචි සිටී. පළමු දරුවා සිය කැදැල්ලට එක් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි යුවළකි. සජිත් හා කාවින්ද්‍යා මදුශානි දින ගනිමින් සිටියේ සිහින ගොඩක් සිතේ රඳවාගෙනය. ඒ නිසාම දරුවා පිළිසිඳ ගත් කාලයේ පටන් ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුවී උපදෙස් ලබා ගැනීමට ද මොවුන් අමතක නොකළහ.
ඒ අතර සුපුරුදු පරිදි පසුගිය 22 වැනි දින සිය වෛද්‍යවරයා වෙත කාවින්ද්‍යා මදුශානි ගොස් ඇත්තේ සති තිස්හයක් වන තම කුසේ සිටින දරුවාගේ තත්ත්වය පරීක්ෂා කර ගැනීමටය. ඒ වෙනදා මෙන් දින කීපයක් කුසේ දරුවා දඟලන්නේ නැති නිසාය.
එහිදී කාවින්ද්‍යාගේ දරු ගැබ පරීක්ෂා කළ ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරයාට ඇගේ කුසේ සිටින දරුවාගේ හෘදය ක්‍රියා නොකරන බව තේරුම් ගොස් ඇති අතර දරුවා මියගොස් ඇති බවට සැක ඇති වී තිබේ.
ඒ අනුව මවගේ ජීවිතයට අනතුරක් වේය යන සැකය ඇතිවීම නිසා මව බේරාගැනීමේ අරමුණ ඇතිව කාවින්ද්‍යාට වහාම රෝහල්ගත වන ලෙස වෛද්‍යවරයා උපදෙස් දී තිබේ. ඒ කුස තුළ සිටින දරුවා වහා පිටතට ගැනීමේ අවශ්‍යතාව දැනීම නිසාය.
එම උපදෙස් අනුව කාවින්ද්‍යා එදින රාත්‍රී 11:30ට පමණ මාතර කොටවිල නව දිස්ත්‍රික් මහා රෝහල වෙත ඇතුළත් වී තිබේ. ඒ අනුව වෛද්‍ය වාර්තා සමඟ ඇය පරීක්ෂා කළ නව දිස්ත්‍රික්ක මහ රෝහලේ වෛද්‍යවරුන් ද කාවින්ද්‍යාගේ ගැබේ සිටින දරුවා මිය ගොස් ඇති බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඇයගේ ජීවිතය බේරාගැනීමේ අරමුණෙන් මළදරු උපතක් සිදු කර ගැනීමට අවශ්‍ය ඖෂධ කාවින්ද්‍යාට ලබා දීමට කටයුතු කර ඇත. එම අවස්ථාවේදි මව මේ බිලිඳා කුසේ මියගොස් ඇති බවට පිළිගෙන ඇති බවත් එම මළදරු ප්‍රසූතිය සිදුකිරීම සඳහා තමා අවසර දෙන බවටත් අදාළ ලිපි ලේඛනවලට කාවින්ද්‍යා සිය අත්අකුරෙන් ලියා අත්සන් තබා ඇති බව මාතර මහා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න මහතා පැවැසීය.
ඒ අනුව රෝහල් වාර්තා සටහන් අනුව කියැවෙන්නේ නියමිත ඖෂධ ප්‍රතිකාර ලබාදීමෙන් පසු දරු ප්‍රසූතියක් සඳහා සූදානම්ව සිටි කාවින්ද්‍යා 24 වැනි දින අලුයම 2.41ට පමණ දරු ප්‍රසූතිය සිදු කර ඇති බවයි.
ඒ අනුව වාර්තා අනුව තහවුරු වන මළදරු ප්‍රසූතියෙන් පසු කාවින්ද්‍යාටත්, ඇයගේ ස්වාමිපුරුෂයාටත් රෝහල් කාර්ය මණ්ඩලය වෙතින් විටින් විට ලබාදී ඇති පරස්පර තොරතුරු අනුව ඇතිවූයේ සුවිශේෂී තත්ත්වයකි. ඒ අනුව රෝහල් කාර්ය මණ්ඩලය හා කාවින්ද්‍යාගේ පවුලේ උදවිය අතර ඇති වූ වාද විවාද ඔස්සේ සිදුවීම මාධ්‍යවලට වාර්තා වීමත් සමඟ ලැබුණු ප්‍රචාර ඔස්සේ මුළු රටේම අවධානය දිනාගත් කතාවක් බවට පත්විය. ඒ කාවින්ද්‍යාට උපන් දරුවා අතුරුදන්ව ඇතැයි යන කතාව කරළියට ඒමත් සමඟය.
සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩබ්ලිව්.ඒ. කාවින්ද්‍යා මදුශානි මෙලෙස පැවසුවාය.
Òබබා හම්බවෙන්න හිටියට පස්සේ මම මාස්පතා යන වැලිගම තිබෙන පෞද්ගලික චැනල් එකට විසි දෙවැනිදා ගියා. ඒකෙදි මම දිගටම චැනල් කරපු වෛද්‍යවරයා කිව්වා බබාගේ හාට් එක වැඩ කරන්නේ නැහැ රෝහලට යන්න කියලා. පසුව රෝහලේ නැවතුණා. දරුවා ගන්න අමාරු වෙන්න බෙහෙත් දාලා කැමැත්ත අරගෙන දරුවා ගත්තා. වෛද්‍යවරුන් කියන්නේ මගේ බඩේදිම දරුවා නැති වෙලා කියලා. ඩොක්ටර් කියන දේ තමයි මම දන්නේ. මම ඩොක්ටර් කෙනෙක් නෙවෙයිනේ. එයාලා කියන දේ තමයි මම දන්නේ. කොහොම හරි විසිතුන් වැනිදා රෑ දරුවා ලැබුණා. දරුවා ඉපදුණාට පස්සේ මගේ අතටවත් දුන්නේ නැහැ. අල්ලන්නවත් දුන්නේ නැහැ. පොඩ්ඩක් පෙන්නුවා විතරයි. කොහොම හරි මගේ මහත්තයා එනකම් දරුවා තියාගන්න කියලා මම කිව්වා. ඒත් ඒ කිසිවක් වුණේ නෑ. මේ ප්‍රශ්න ඔක්කොම වුණේ ඒකෙන්Ó
දරුවෙකු අතුරුදන්වීම, මාරුවීම, තොරතුරු සැඟවීම ආදී අංශ ඔස්සේ ඒ සම්බන්ධ පුවත් මාධ්‍යවල පළ වීමත් සමඟ ඇති වූ කතාබහ පිළිබඳව කාවින්ද්‍යාගේ සැමියා වූ සජිත් චතුර මෙසේ පැවසීය.
Ò24 උදේ මම වාට්ටුවට ගිහින් දරුවා බලන්න ඕනෑ කියලා කිව්වට පස්සේ වාට්ටුවේ හිටිය මිස්ලා කිව්වේ පල්ලෙහාට ගිහින් බලන්න කියලා. පසුව කිව්වා මාතර රෙජිස්ට්‍රාර් ළඟට ගිහින් රෙජිස්ට්‍රාර් කර මාතර නගර සභාවට ගිහින් භූමදාන කටයුතු සඳහා ඉඩක් වෙන් කරගෙන එන්න කියලා. ඉන් පස්සේ මම ආවා. මට දරුවා බලන්න ඕනෑ කියලා කිව්වා දරුවගේ තාත්තා හැටියට. ඊට පස්සේ කට්ටිය කිව්වා දරුවා පෙන්නන්න ලිහ ලිහ ඉන්න වෙලාවක් නැහැ කියලා. හෙට ගෙනියනවනේ එහෙම බලාගන්න කිව්වා. 24 වැනි දින ඔක්කොම වැඩ ටික කරලා 25 වැනි දින දරුවාගේ අවසන් කටයුතු කරන්න දරුවා මට දෙන්න කියලා මම කිව්වා. අවශ්‍ය ලියකියවිලි දුන්නා. 25 ඇවිත් දරුවා ඉල්ලන විට එයාලා කියනවා දරුවා නැහැ කියලා. මම අහන විට එයාලා කියනවා භූමදාන කටයුතු සඳහා පී.එච්.අයි. මහත්තයා අරගෙන ගියා කියලා. ඊට පස්සේ කියනවා මෝචරියට දැම්මා කියලා. මං ඊට පස්සේ ඇහුවා ඉඩක් වෙන් කරගෙන එන්න කියලා මෙහෙම කළාම හරිද කියලා. දැන් ගෙනිහින් භූමදාන කටයුතු කර ඉවරයි. එදා බහින් බස්වීමක් වුණා. පසුව පොලිසියෙන් ආවා. ඇවිත් උපදෙස් දුන්නා නීතිය ක්රියාක්මක කරන්න නම් පොලිසියට පැමිණිලි කරන්න කියලා. ඒ වෙලාවේ මිස් කෙනෙක් කිව්වා පොලිසියට පැමිණිලි කරන්න එපා. කොළඹ සිට මරණයක් එනවා කියලා. ඒ අනුව රෝහලේ බලධාරීන් විසින් විටින් විට පලකළ අදහස් මත අපට සැකයක් ඇති වුණා.
රෝහල් සේවකයන් ලබා දුන් පරස්පර ප්‍රකාශ ඔස්සේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් මාතර මහ රෝහල් අධ්යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න මහතා මෙසේ පැවසීය.
Ò24 වැනිදා අලුයම් කාලයේ තමයි මේ මව සිය මියගිය දරුවා ප්‍රසූත කර තිබෙන්නේ. ප්‍රසූත කරන විට වයස සති තිස්හයක් වෙච්ච කලලය තරමක් නරක් වී තිබුණා. 25 වැනිදා පෙරවරුව වන විටත් බිලිඳාගේ මළ සිරුර රෝහලේ මෘතශරීරාගාරයේ තිබුණා. බිලිඳාගේ සිරුර භාරගැනීම සඳහා 24 දින ඥාතින් කිසිවකු ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. 25 වැනිදා පස්වරුවේ තමයි ඥාතීන් ඇවිත් මළසිරුර ඉල්ලා තිබෙන්නේ. රෝහලේ සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සිදු කරන ලොරිය පැමිණෙන්නේ සති දෙකකට සැරයක්. 25 වැනිදා එම ලොරිය පැමිණිලා තිබෙනවා. මළසිරුර ඥාතීන්ට අවශ්‍ය බවට නිසි සන්නිවේදනයක් රෝහල් කාර්ය මණ්ඩලය අතර සිදු වී නැති තත්ත්වයක් මත බිලිඳාගේ මළසිරුරත් ඒ වනවිට භාරකරුවන් නැති අනෙකුත් සිරුරු සමඟ අදාහනය කිරීම සඳහා රැගෙන යන එම ලොරිය වෙත රෝහල් මෘතශරිරාගාරයෙන් මුදා හැර තිබුණා. 25 වැනිදා පස්වරුවේ ඥාතීන් ඇවිල්ලා බිලිඳාගේ මරණය ඉල්ලා සිටි වෙලාවේ සිටිය සේවකයා සිරුර ලොරියට භාරදීපු බවක් දැනගෙන ඉඳලා නැහැ. ඔහු කියලා තිබෙනවා සිරුර දෙන්න නම් අවශ්‍ය ලියකියවිලි ටික රැගෙන එන්න කියලා. ඒ ඥාතීන් අවශ්‍ය ලියකියවිලි ටික රැගෙන එනකොට සිරුර ලොරියට භරදීලා ඉවරයි. පසුව ඥාතීන් සිරුර දෙන ලෙස කළ ඉල්ලීම මත බිලිඳාගෙ මළසිරුර නැවත ලොරියේ සිට ගෙන්වාගෙන ඔවුන්ට භාරදීමට කටයුතු කළත් එම මළසිරුර භාරගැනීමට ඔවුන් අකමැති වෙලා තිබෙනවා. ඔවුන් එම අවස්ථාවේදි ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කර ගැනීමට මළසිරුර දිය හැකිද යන්න ඥාතීන් විමසුව අවස්ථාවේදි කොටවිල රෝහල භාරව ඉන්න නියෝජ්‍ය රෝහල් අධ්යක්ෂතුමා පවසා තිබෙනවා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කරගැනීමට මළ සිරුර පිටතට ගෙනයෑමට දිය නොහැකි බවත් එසේ කරන ආයතනයකින් පැමිණ ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කිරීම පිළිබඳව විරුද්ධත්වයක් නැතැයි කියාය. එහෙමත් නැතිනම් උසාවි නියෝගයක් මාර්ගයෙන් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කරන්නයැයි නියෝග කළොත් රජය මඟින් එම ඩී.එන්.ඒ. පරීක්ෂණය කර දෙනවා කියලත් ඒ අයට කියා තිබුණා. ඒ අනුව ඉදිරි කටයුතු සිදු වෙනකම් බිලිඳාගේ සිරුර කොටවිල රෝහලේ තියන්න පහසුකම් නැති නිසා මාතර මහා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තබන්න අපි තීරණය කළාÓ
මේ සිදුවීම අතරේ මියගොස් සිටි බිලිඳාගේ ඥාතීන් විසින් කොටවිල පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව පොලිසිය විසින් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා විසින් මේ සිරුර සම්බන්ධයෙන් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කරන ලෙස 27 වැනි දින සවස නියෝග කර ඇත.
ඒ අනුව 28 වැනි දින ඒ සඳහා අවශ්‍ය සාම්පල ලබා ගැනීම හා බිලිඳාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මාතර අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් සිදු කර තිබිණි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කොටවිල පොලිසිය සහ සෞඛ්‍යය දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වමින් සිටින අතර ඉන් ඉදිරිපත් වන කරුණු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.