වදුරව දුම්රිය මාර්ගයේ පුද්ගල මළ සිරුරක්

පාදයක් වෙන්වී බරපතළ ලෙස තුවාල සිදු වූ පුද්ගල මළ සිරුරක් වේයන්ගොඩ සහ වදුරව දුම්රිය ස්ථාන අතර වදුරව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ තිබී  අද (28) පෙරවරුවේ  සොයා ගත් අතර මෙම සිද්ධිය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයේ තරමක් ප්‍රමාදයක් සිදු වූ බවද  වේයන්ගොඩ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වේයන්ගොඩ  මොට්ටුන්න ප්‍රදේශයේ පදිංචිව සිටි රොෂාන් මහානාම නැමැති 40 හැවිරිදි තිදරු පියෙකි.

දුම්රිය මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු දුම්රිය මාර්ගයේ මළ සිරුර තිබෙනු දැක වේයන්ගොඩ  දුම්රිය ස්ථානයට දැනුම් දීමෙන් අනතුරුව  පොලිසිය මළ සිරුර සොයා ගෙන ඇත.

මිය ගිය පුද්ගලයාගේ එක් පාදයක් මළ සිරුර තිබූ ස්ථානයේ සිට මීටර් 10 පමණ දුරින් වැටී තිබූ අතර මියගිය පුද්ගලයාගේ බවට සැකකරන පාවහන් යුගලක් සහ පොරවක් ද ඒ අසල පැත්තක රදවා තිබී සොයා ගැනිණි.

අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරින් විසින් ද ස්ථාන පරීක්ෂණයක් සිදු කරනු ලැබූ අතර  දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ වතුපිටිවල මූලික රෝහලේදී පැවැත්වීමට පොලිසිය පියවර ගනිමින් තිබිණි

කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවට  සැක කරන  බවත්  කුමන දුම්රියක ගැටුණේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත් වේයන්ගොඩ  පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධ වේයන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වති.