කාලගුණයෙන් රතු නිවේදනයක් නිකුත් කෙරේ, නිරිත දිග මෝසම් තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු  ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹසහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60-70 දක්වා වැඩිවන බවත් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බවත් එහි සඳහන් වෙයි. එබැවින් මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දී ඇත. තවද කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

මේ හේතුවෙන් කල්පිටිය සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතීන බව එම නිවේදනයේ සඳහන් වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.