අයිපීඑල් කිරුළ කොල්කටා නයිට් රයිඩර්ස් දිනාගනී

වසර 10කට පසු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයන් වීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

චෙන්නායි නුවරදී ඊයේ රාත්‍රිෙය් පැවති තරගාවලියේ අවසන් තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් පිල කඩුලු 8කින් පරාජය කළ කොල්කටා පිල දිනා ගත්තේ තෙවැනි අයිපීඑල් ශූරතාවයි.

අවසන් වරට 2014 වසරේ ශූරතාව දිනාගත් කොල්කටා පිල 2012දී පළමු වරට ශූරතාව දිනාගෙන තිබිණි. 2021 වසරේ අවසන් තරගයට පිවිසියත් චෙන්නායි පිල හමුවේ පරාජය වීමෙන් අනුශූරතාවයෙන් සෑහීමට ඔවුන්ට පිලට සිදුව තිබිණි.

මෙවර ශූරයන් වූ කොල්කටා පිලට ඉන්දීය රුපියල් කෝටි 20ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 72ක්) හිමි වූ අතර, අනුශූර හයිද්‍රාබාද් පිලට රුපියල් කෝටි 13ක් හිමි විය.

මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් පිල ඕවර 18.3කදී ලකුණු 113කට දවාගත් කොල්කටා පිල පන්දු 57ක් ඉතිරිව තිබියදී ජය තහවුරු කර ගත්තේ කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමිනි.

මේ තරගයේ හයිද්‍රාබාද් ඉනිම වාර්තා අතරට එක් වූයේ අයිපීඑල් අවසන් තරගයකදී කණ්ඩායමක් රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසිනි.

කොල්කටා පිළිතුරු ඉනිමේ දෙවැනි ඕවරයේදී පළමු කඩුල්ල ලෙස සුනිල් නරේන් (6) මුළු ලකුණු 11දී දැවී ගිය ද රහ්මනුල්ලා ගුර්බාස් සමඟ දෙවැනි කඩුල්ලට එක්වූ වෙන්කටේෂ් අයියර් පන්දු 45කින් ලකුණු 91ක සබඳතාවක් ගොඩනඟමින් කොල්කටා පිල ජයග්‍රාහි මාවතට රැගෙන ගියේය. මුළු ලකුණු 102දී ගුරුබාස් දැවී යෑමෙන් එම සබඳතාව නිමා වූ අතර, ඒ වන විට කොල්කටා පිලට ජයග්‍රහණයට අවශ්‍යව තිබුණේ ලකුණු 12ක් පමණි. ගුර්බාස් පන්දු 32කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 39කි. වේගවත් පිතිහරඹයක නිරත වූ වෙන්කටේස් නොදැවී ලකුණු 52ක් රැස් කළේ පන්දු 26කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟිනි. නායක ශ්‍රේයාස් අයියර් නොදැවී ලකුණු 6ක් රැස් කළේය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් පිල වෙනුවෙන් මෙවර තරගාවලියේ වාර්තා පිට වාර්තා තැබූ ආරම්භක පිතිකරුවන් වූ ට්‍රැවිස් හෙඩ් (0) සහ අභිෂේක් ෂර්මාට (2) ඊයේ සාර්ථක වීමට අවස්ථාවක් නොලැබුණු අතර, ඔවුන් දෙදෙනාම ලකුණු 6ක් තුළ යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට කොල්කටා පන්දු යවන්නෝ සමත් වූහ. මුල සිටම දැඩි ආක්‍රමණශීලි බවක් පෙන්නුම් කළ කොල්කටා පිල කිසිදු පිතිකරුවකුට පිටියේ ස්ථාවර වීමට අවස්ථාවක් නොදුන් අතර, පන්දු 19කින් ලකුණු 24ක් රැස් කළ නායක පැට් කමින්ස් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. ඔහු හැර ලකුණු 20 සීමාවට පිවිසීමට හැකි වූයේ ඒඩ්න් මාක්‍රම්ට (20) පමණි. පන්දු යැවීමේදී ඇන්ඩ්‍රි රසල් කඩුලු 3ක් බිඳ දැමූ අතර, මිචෙල් ස්ටාක් සහ හර්ෂිත් රානා කඩුලු 2 බැගින් දවා ගත්හ.

මෙවර තරගාවලියේ සාර්ථකම කණ්ඩායම බවට පත්වූ කොල්කටා පිල මූලික වටයේදී තරග 14කින් 9ක් ජය ගැනීමට සමත් වූ අතර, පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙන් ද (Qualifier 1) හයිද්‍රාබාද් පිල පරාජය කරමින් අවසන් තරගයට එක්විය. මෙවර තරගාවලියේ හමුවූ අවස්ථා තුනේදීම හයිද්‍රාබාද් පිල පරාජය කිරීමට කොල්කටා පිල සමත්වීම විශේෂත්වයකි.

සන්රයිසස් හයිද්‍රාබාද් පිල – 113 (ඕවර 18.3) පැට් කමින්ස් 24, ඒඩන් මාක්‍රම් 20 (ඇන්ඩ්‍රි රසල් 19/3, මිචෙල් ස්ටාක් 14/2, හර්ෂිත් රානා 24/2)

කොල්කටා නයිට් රයිඩර්ස් පිල – 114/2 (ඕවර 10.3) වෙන්කටේෂ් අයියර් නොදැවී 52, රහ්මනුල්ලා ගුර්බාස් 39