අද කාලගුණ නිවේදනය

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 150 පමණ ඉතා තද වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු පළාත්වලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සඳහන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.