ආහාර අසා­ත්මි­ක­තා­වය ජීවිත අව­දා­න­මක් විය හැකියි

අසා­ත්මි­ක­තා­ව­යක් යනු අපගේ සිරු­රට ආග­න්තුක යමක් එක්වූ විට ඊට එරෙ­හිව සිරුරේ ප්‍රති­ශක්ති පද්ධ­තිය ක්‍රියා­ත්මක වීමයි. අසා­ත්මි­ක­තා­වය ලෝකයේ දිනෙන් දින ඉහළ යමින් පව­තින රෝගී තත්ත්ව­යකි. අසා­ත්මි­කතා හඳුනා ගැනීම හා ඊට ප්‍රති­කාර කිරීම මැන­වින් විමසා බලා සිදු කළ යුතු බැරෑ­රුම් කට­යු­ත්තකි. මේ සම්බ­න්ධ­යෙන් සහ ලෝක ආහාර අසා­ත්මි­ක­තාව පිළි­බ­ඳව දැනු­ම්ව­ත්වීමේ සතිය නිමි­ත්තෙන් කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය විශේ­ෂඥ වෛද්‍ය නදීෂා බද­න­සිංහ සමඟ සිදු කළ සාක­ච්ජා­වකි මේ.

අසා­ත්මි­ක­තා­ව­යක් යනු කුමක්ද ?

අසා­ත්මි­ක­තා­වක් කියන්නේ ශරී­රය තුළ ප්‍රති­ශ­ක්ති­ක­රණ පද්ධ­තියේ අන­වශ්‍ය ලෙස ක්‍රියා­කා­රී­වීම නිසා ඇති වන තත්ත්ව­යක්. සාමා­න්‍ය­යෙන් ප්‍රති­ශ­ක්ති­ය­ක­රණ පද්ධ­තිය මඟින් සිදු­වන්නේ ශරී­ර­යට හානි­කර දේවල් එනම්, විෂ­බීජ වැනි දේව­ලට එරෙ­හිව ක්‍රියා කිරී­මයි. නමුත් අසා­ත්මි­කතා සහිත පුද්ග­ල­යන්ගේ ප්‍රති­ශ­ක්ති­ක­රණ පද්ධ­තිය ශරී­ර­යට හානි­කර නොවන දේව­ල්ව­ලට එරෙ­හිව ක්‍රියා කරනු ලබ­නවා. ආහාර, ඖෂධ, කෘමී සතුන්, පරාග වැනි අපේ ශරී­ර­යට හානි­දා­යක නොවන දේවල් ඇතුළු වුණාම අසා­ත්මි­කතා තිබෙන අයගේ ශරී­රයේ ප්‍රති­ශ­ක්ති­ක­රණ පද්ධ­තිය මඟින් ඒ ද්‍රව්‍ය­ව­ලට එරෙ­හිව ප්‍රති­ශ­ක්ති­ක­රණ ක්‍රියා­ව­ලි­යක් ඇති කර­නවා. මෙය අසා­ත්මි­ක­තා­ව­යක් ලෙස හඳු­න්වනු ලබ­නවා. ප්‍රති­ශ­ක්ති­ක­රණ පද්ධ­තියේ සාමාන්‍ය ස්වභා­වය වන්නේ එක් වරක් හානි­දා­යක ලෙස හඳු­නා­ගත් දෙයක් මතක තබා­ගෙන නැවත නැවත එයට නිරා­ව­ර­ණය වූ විට එයට විරු­ද්ධව ක්‍රියා­ත්මක වීමයි. එම නිසා අසා­ත්මි­ක­තා­ව­යක් තිබෙන අය එම ද්‍රව්‍යට නිරා­ව­ර­ණය වූ සෑම අව­ස්ථා­ව­ක­දීම අසා­ත්මි­ක­තා­වයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබ­නවා.

 ආහාර අසා­ත්මි­ක­තා­ව­යක් ඇති වන්නේ කොහො­මද ?

ඇතැම් පුද්ග­ල­යන්ගේ ප්‍රති­ශ­ක්ති­ක­රණ පද්ධ­තිය මඟින් සම­හර ආහාර වර්ග­වල ඇති ප්‍රෝටීන ශරී­ර­යට හානි­කර දේවල් ලෙස හඳු­නා­ගෙන එයට එරෙ­හිව IgE නම් ප්‍රති­දේහ සාදනු ලබ­නවා. මෙය සෑම පුද්ග­ල­යකු තුළම සිදු­වන්නේ නැහැ. එක් එක් පුද්ග­ල­යන්ගේ ප්‍රති­ශ­ක්ති­ක­රණ පද්ධ­තිය මඟින් ආහාර ප්‍රෝටීන හඳුනා ගන්නා ආකා­රය මත ආහාර අසා­ත්මි­ක­තා­ව­යක් ඇති­වේද නැද්ද යන බව තීර­ණය වෙනවා. IgE ප්‍රති­දේහ සුදු රුධි­රාණු මත ක්‍රියා කර එම සෛල මඟින් රුධි­ර­යට මුදා හරින රසා­ය­නික ද්‍රව්‍ය (Histamin) නිසා ආහාර අසා­ත්මි­ක­තා­ව­යක් ඇති වෙනවා. යම් ආහා­ර­ය­කට අසා­ත්මි­ක­තා­ව­යක් දක්වන පුද්ග­ල­යෙක් ඒ ආහා­රයේ කුඩා ප්‍රමා­ණ­යක් ආහා­ර­යට ගත්ත ද අසා­ත්මි­ක­තා­වය ඇති වෙනවා.

 ආහාර අසා­ත්මි­කතා සඳහා හේතු­වන වෙනත් යන්ත්‍රණ තිබෙ­න­වාද ?

ආහාර අසා­ත්මි­කතා ඇති සම­හර පුද්ග­ල­යන් තුළ යම් ආහා­ර­යක් සඳහා අසා­ත්මි­ක­තා­ව­යක් ඇති වූ විට එම ආහා­රයේ ඇති ප්‍රෝටී­න­ව­ලට සමාන ප්‍රෝටීන ඇති වෙනත් ආහාර සඳහා ද අසා­ත්මි­ක­තා­වක් ඇති වෙන්න පුළු­වන්. ඒවා Cross – allergy නමින් හඳු­න්ව­නවා. මෙයට උදා­හ­රණ වශ­යෙන් හරක් මස්ව­ලට අසා­ත්මි­ක­තා­ව­යක් දක්වන කෙනෙක් ඌරු මස්ව­ලට අසා­ත්මි­ක­තා­ව­යක් දක්වන්න පුළු­වන්. එයට හේතුව මෙම මස් වර්ග දෙකේ සමාන ප්‍රෝටීන තිබිය හැකි වීමයි. නමුත් කිසිම සමා­න­ක­මක් නැති විවිධ ආහාර වර්ග­ව­ලට එක් පුද්ග­ල­යෙ­කුට අසා­ත්මි­ක­තා­වය ඇති ඇති විය නොහැ­කිය. එයට හේතුව වන්නේ එම ද්‍රව්‍ය­වල තිබෙන ප්‍රෝටීන සහ අනෙ­කුත් සංඝ­ටක වෙනස් වීමයි. සාමා­න්‍ය­යෙන් දක්නට ලැබෙන අසා­ත්මි­ක­තා­ව­ලින් වෙනස් වන Exercise induced අසා­ත්මි­කතා නමින් හඳු­න්වන තත්ත්ව­යක්ද පව­ති­නවා. යම් ආහා­ර­යක් අර­ගෙන හයි­යෙන් ඇවි­ද්දොත්, ශාරී­රික ව්‍යායා­ම­වල නිර­ත­වන අව­ස්ථා­වල යෙදු­ණොත්, කෝච්චි­යට බස් එකට දුව­න­කොට වගේ අව­ස්ථා­වල Exercise induced අසා­ත්මි­කතා තත්ත්වය ඇති වෙන්න පුළු­වන්. ආහාර සමඟ ක්‍රියා­ශීලී තත්ත්ව­යක් ඇති වුණොත් පම­ණක් මෙම අසා­ත්මි­ක­තා­වය ඇති වන අතර ආහාර ගත් පම­ණින්ම මේ අසා­ත්මි­කතා තත්ත්වය ඇති වෙන්නේ නැහැ.

 මෙම ආහාර අසා­ත්මි­කතා බහු­ලව දක්නට ලැබෙන්නේ කුමන ආහාර සඳහා ද? කවර පුද්ගල කණ්ඩා­යම් සඳහා ද ?

විවිධ රට­වල ආහාර රටාව අනුව අසා­ත්මි­කතා බහු­ලව ඇති­වන ආහාර වර්ග වෙනස් වෙනවා. උදා­හ­ර­ණ­යක් වශ­යෙන් බට­හිර රට­වල මස්, එළ­කිරි, බිත්තර, රට­කජු, තිරිඟු‍, ඉස්සෝ, දැල්ලෝ සඳහා වූ අසා­ත්මි­කතා බහු­ලයි. නමුත් ශ්‍රී ලංකාව තුළ ඉහත ආහා­ර­ව­ලට අම­ත­රව දේශී­යව පව­තින මුරුංගා, සාරණ, කොස්, ජම්බූ, අන්නාසි, තල වැනි ආහාර සඳහා ද අසා­ත්මි­කතා ඇති­වීම දැක­ගන්න පුළු­වන්. එදි­නෙදා කිසිදු ගැට­ලු‍වක් නැතිව ආහා­ර­යට ගත්ත ආහා­ර­ය­කට යම් දව­සක අසා­ත්මි­ක­තා­ව­යක් ඇති වෙන්න පුළු­වන්. ආහාර අසා­ත්මි­ක­තා­වය ඕනෑම වය­ස­කදී ඇති විය හැකියි. උදා­ර­ණ­යක් වශ­යෙන් ළදරු අව­ධි­යේදී වයස අවු­රු­ද්ද­ක­ටත් වඩා අඩු කාල­ය­කදී එළ­කිරි සඳහා වන අසා­ත්මි­ක­තාව බහු­ලව දකින්න පුළු­වන්. සම­හර පුද්ග­ල­යන්ට තමන්ගේ ශරී­ර­යෙන්ම අසා­ත්මි­ක­තාව ඇති වෙන්න පුළු­වන්. එම පුද්ග­ල­යන් Atopic ලෙස හඳු­න්වනු ලබ­නවා. ඔවුන්ගේ ශරී­රයේ අන­වශ්‍ය ආකා­ර­යට ප්‍රති­ශ­ක්ති­ක­රණ පද්ධ­තිය ක්‍රියා­ත්මක වීම ඊට හේතු­වයි. යම් කෙනෙ­කුට වසර ගණ­නා­වක් පැවති අසා­ත්මි­ක­තා­ව­යක් කාල­යක් ගත වුණාට පසුව ඉබේම නැති වී යනවා. ඒ සඳහා ගත­වන කාලය අපිට නිශ්චි­ත­වම කියන්න බැහැ.

 ආහාර අසා­ත්මි­ක­තා­ව­ය­කදී ඇති වන රෝග ලක්ෂණ මොන­වාද?

ආහාර අසා­ත්මි­ක­තා­ව­ය­කදී බහු­ලව දක්නට ලැබෙන රෝග ලක්ෂණ වන්නේ සම කැසීම, රතු­වීම, සමෙහි පළු මතු­වීම (කර­ප්පන්), මුහුණ, තොල් හා ඇස් ඉදි­මීම, ඇතැම් විට හුස්ම ගැනීමේ අප­හ­සු­තාව, හුස්ම හිර­වීම, දිව ඉදි­මීම, පපුවේ තද ගතිය, බඩේ කැක්කුම, ක්ලාන්ත ගතිය, කර­කැ­විල්ල, නැවත නැවත වම­නය වැනි රෝග ලක්ෂණ ද ඇති වෙන්න පුළු­වන්. මෙම රෝග ලක්ෂණ දරුණු වීම හරහා ජීවි­ත­යට පවා හානි වෙන්න පුළු­වන්. මේ තත්ත්වය Anaphylaxis ලෙස හඳු­න්වනු ලබ­නවා. Anaphylaxis නමින් හඳු­න්වන භයා­නක රෝගී තත්ත්වය අපේ ශ්වසන පද්ධ­ති­යට සහ රුධිර සංස­ර­ණය පද්ධ­ති­යට බල­පෑම් ඇති කර­නවා. ඒ හරහා ශරී­රයේ තිබෙන ශ්වසන නාල අව­හිර කරනු ලබ­නවා. ඒ වගේම රුධිර සංස­ර­ණය පද්ධ­තියේ රුධිර පීඩ­නය ගොඩක් අඩු කර­නවා. ඒ නිසා මොළ­යට ගමන් කරන රුධිර ප්‍රමා­ණය අඩු වෙලා ජීවි­තය පවා නැති වෙන්න පුළු­වන්. සාමා­න්‍ය­යෙන් අසා­ත්මි­ක­තා­ව­යක් තිබෙන ආහා­ර­යක් ගෙන මිනිත්තු කීප­යක් ඇතු­ළ­තදී රෝග ලක්ෂණ මතු වීමේ හැකි­යාව බහු­ලව දක්නට තිබෙ­නවා. එන­මුත් කලා­තු­ර­කින් එය පැය හයක් දක්වා ප්‍රමාද වීමට ද ඉඩ තිබෙ­නවා. යම්කිසි ආහා­ර­ය­කට අප තුළ අසා­ත්මි­ක­තා­ව­යක් ඇති වුණාම අප විසින් ඒ ආහා­රය ගන්නා සෑම අව­ස්ථා­ව­කම ප්‍රති­ශ­ක්ති­ක­රණ ක්‍රියා­ත්මක වෙලා රෝග ලක්ෂණ ඇති කරනු ලබ­නවා.

 කෑම අජී­ර්ණය (food intolerance) හා ආහාර විෂ වීම යනු ආහාර අසා­ත්මි­ක­තා­ව­ය­මද?

මේ රෝග තත්ත්ව­යන් ඇත්ත­ටම එකි­නෙ­කට වෙනස්. ආහාර අසා­ත්මි­ක­තා­වය කියන්නේ අපේ ප්‍රති­ශ­ක්ති­ක­රණ පද්ධ­තිය මඟින් ඇති කරන රෝගී තත්ත්ව­යක්. ආහාර අජී­ර්ණය (food intolerance) ඇති­වන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධ­තියේ ඇති­වන යම් වෙන­ස්ක­මක් නිසයි. මේ රෝගය සඳහා ප්‍රති­ශ­ක්ති­ක­රණ කිසිදු අයු­රින් සම්බන්ධ වන්නේ නැහැ. අසා­ත්මි­ක­තා­ව­ය­කදී රෝග ලක්ෂණ සමට සහ වෙනත් පද්ධ­ති­ව­ල­ටද බල­පානු ලබ­නවා. යම් කෙනෙකු තුළ ආහාර ජීර්ණ­යට අවශ්‍ය එන්ස­යිම අඩු වීම නිසා ආහාර අජී­ර්ණය ඇති වෙනවා. ආහාර අජී­ර්ණ­යේදී බඩ පිපුම, බඩේ කැක්කුම, පාචන තත්ත්වය වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළු­වන්. මෙම රෝග ලක්ෂණ ආහාර අසා­ත්මි­ක­තා­වය නිසා ඇති­වන රෝග ලක්ෂණ නෙවෙයි. ආහා­ර­ය­කට යම් රසා­ය­නික ද්‍රව්‍ය­යක් නැත්නම් විෂ­බී­ජ­යක් එක­තු­වීම මඟින් ආහාර විෂ වීම ලෙස හඳු­න්ව­නවා. ආහාර විෂ වීමේ රෝග ලක්ෂණ ඇති වන්නේ ද ආහාර ජීර්ණ පද්ධ­තිය ආශ්‍රි­ත­වයි. මේ සඳහා ද ප්‍රති­ශ­ක්ති­ක­රණ පද්ධ­තිය සම්බන්ධ වන්නේ නැහැ.

 ආහාර අසා­ත්මි­කතා ඇති දැයි හඳුනා ගැනී­මට සිදු කරන පරී­ක්ෂණ මොන­වාද?

අසා­ත්මි­ක­තා­වක් බවට තහ­වුරු කර ගැනී­මට පරී­ක්ෂණ කිහි­ප­යක් තිබෙ­නවා. ඉන් එකක් තමයි Skin prick test කියන පරී­ක්ෂ­ණය. කෙනෙක් යම් ආහා­ර­යක් සඳහා අසා­ත්මි­ක­තා­ව­යක් දක්ව­නවා නම්, ඒ ආහා­රයේ කුඩා කොට­සක් ගෙන එම පුද්ග­ල­යාගේ සමට ඇතුළු කර අසා­ත්මි­ක­තා­ව­යක් ඇති දැයි පරීක්ෂා කරනු ලබ­නවා. ඒ වගේම රුධි­රයේ පව­තින IgE මට්ටම පරීක්ෂා කිරීම හරහා ද යම් ආහා­ර­ය­කට අසා­ත්මි­ක­තා­ව­යක් තිබෙ­න­වාද යන්න පිළි­බ­ඳව සැක හැර දැන ගැනීමේ හැකි­යාව තිබෙ­නවා. මේ පරී­ක්ෂ­ණ­ව­ලින් පසුව ඔබට තව­මත් සැක­යක් තිබෙ­නවා නම්, අසා­ත්මි­ක­තා­වය තිබෙන ආහා­රයේ සුළු ප්‍රමා­ණ­යක් අදාළ පුද්ග­ල­යාට ලබා ගැනී­මට සලස්වා ඔහුව පරී­ක්ෂා­වට ලක් කිරීම කරනු ලබ­නවා. එය  Graded oral challenge හඳු­න්වනු ලබ­නවා.

 ආහාර අසා­ත්මි­කතා වළක්වා ගැනී­මට කරනු ලබන ක්‍රියා­මාර්ග හා ප්‍රති­කාර ක්‍රම මොන­වාද?

අසා­ත්මි­කතා ඇති ආහාර සහ එයට සමාන ආහාර හඳු­නා­ගෙන එම ආහාර ගැනී­මෙන් වැළකී සිටීම ආහාර අසා­ත්මි­කතා ඇති වීම වැළැ­ක්වීමේ ප්‍රධාන පිය­වර වෙනවා. අසා­ත්මි­ක­තා­වය තිබෙන පුද්ග­ල­යෙ­කුගේ එම ආහාර වර්ග කුමක්ද සහ ආහාර අසා­ත්මි­ක­තා­වක් ඇති වූ අව­ස්ථා­ව­කදී කුමක් කළ යුතුද යන්න එම පුද්ග­ල­යාගේ සමී­ප­ත­ම­යන් දැනු­වත් විය යුතුයි. කුඩා දරු­වෙ­කුට මෙවැනි ආහාර අසා­ත්මි­ක­තා­ව­යක් තිබෙ­නවා නම්, පාසලේ සිටින ගුරු­ව­රුන් දැනු­වත් කිරීම ඉතා වැද­ගත්. පාසලේ දරු­වන් කෑම හුව­මාරු කර ගන්නා නිසා යම් දරු­වෙකු යම් ආහා­ර­ය­කට අසා­ත්මි­ක­තා­ව­යක් දක්ව­නවා නම්, ඒ පිළි­බ­ඳව ගුරු­ව­රුන් දැනු­ම්වත් කර තිබීම වැද­ගත් වෙනවා. ඒ වගේම සාද­ය­කට, හෝට­ල­ය­කට ගිහින් නොදන්නා ආහාර ගැනී­මේදී මේ පිළි­බ­ඳව වැඩි සැල­කි­ල්ලක් දක්වන්න ඕනේ. යම් ආකා­ර­යක සැක­යක් තිබෙ­නවා නම්, ඒ ආහා­රය ගැනී­මෙන් වැළකී සිටිය යුතුයි. ඒ වගේම ආහාර මිලදී ගැනී­මට පෙර එහි ඇති අඩංගු ද්‍රව්‍ය සහිත ලේබ­ලය පරීක්ෂා කිරී­මට ද පුරුදු වීම ඉතා වැද­ගත්.

අසා­ත්මි­ක­තා­වයේ ස්වභා­වය අනුව කරනු ලබන ප්‍රති­කාර ක්‍රම වෙනස් වෙනවා. මූලික වශ­යෙන් වෛද්‍ය­ව­රයා නිර්දේශ කරන ඖෂධ හැකි ඉක්ම­ණින් ලබා ගැනීම වැද­ගත් වෙනවා. නමුත් දරුණු තත්ව­ය­කදී හදිසි ප්‍රති­කාර ලබා­දිය යුතුයි. ඒ නිසා හැකි  ඉක්ම­ණින් රෝගි­යාව ළඟම ඇති රෝහ­ලක් වෙත ගෙන යාම සිදු කළ යුතුයි. මෙහිදී රෝගි­යාට ශ්වසන ආධාර මෙන්ම රුධිර පීඩ­නය නිසි ලෙස පවත්වා ගැනීම සඳහා එන්නත් මඟින් ඖෂධ ලබා දීම සිදු­කළ යුතු වෙනවා. මින් පෙර අව­ස්ථා­ව­කදී  Anaphylaxis වැනි තත්ත්ව­යක් ඇතිවූ පුද්ග­ල­යකු නම්, ඔහුට තමා විසින්ම එන්නත් කර­ගත හැකි ඖෂ­ධ­යක් (Adrenaline auto injectable) වෛද්‍ය­ව­ර­යකු විසින් නිර්දේශ කර­නවා. මෙම එන්නත ලබා දිය යුත්තේ කකුලේ කලවා ප්‍රදේ­ශයේ මස්පි­ඬු­ව­ල­ටයි. මෙම එන්නත ලබා­දෙන ආකා­රය පිළි­බ­ඳව ද තමාගේ සමී­ප­ත­ම­යන් දැනු­ම්වත් කිරීම වැද­ගත් කාර­ණ­යක්. දරුණු ආහාර අසා­ත්මි­කතා රෝග ලක්ෂණ ඇති වූ විට වහාම මෙම ඖෂ­ධය වෛද්‍ය­ව­රයා නිර්දේශ කළ ආකා­ර­ය­ටම රෝහ­ලට පැමි­ණී­මට පෙර ලබා ගැනීම වැද­ගත් වෙනවා.

 ආහාර අසා­ත්මි­කතා වළක්වා ගැනීම පිළි­බ­ඳව ජන­තා­වට ලබා­දිය හැකි පණි­වි­ඩය කුමක්ද?

යම් ආහා­ර­යක් සඳහා අසා­ත්මි­ක­තා­වක් ඇති බවට සැක කරන්නේ නම් වෛද්‍ය­ව­ර­යකු මාර්ග­යෙන් එය තහ­වුරු කිරීමේ පරි­ක්ෂා­වක් සඳහා යොමු­වීම වැද­ගත් වෙනවා. එසේම අසා­ත්මි­කතා ඇති බවට හඳු­නා­ගත් ආහාර හා එයට සමාන ආහාර අනු­භ­ව­යෙන් සම්පූ­ර්ණ­යෙන්ම වැළකී සිටීම ද වැද­ගත් කාර­ණ­යක්. ආහාර අසා­ත්මි­ක­තා­ව­කදී ජීවිත අව­දා­න­මක් සහිත තත්ත්ව­ය­කට පත්විය හැකි බැවින් වෛද්‍ය­ව­රයා ලබා­දෙන උප­දෙස් අනුව ක්‍රියා කිරීම වැද­ගත් වෙනවා. මීට අම­ත­රව එවැනි අසා­ත්මි­කතා සහිත පුද්ග­ල­යන් සෑම­වි­ටම වෛද්‍ය­ව­රයා නිර්දේශ කළ ඖෂධ තමා ළඟ තබා ගත යුතුයි.