ඩුබායි නුවර සිට කෝටි 18ක රන් බිස්කට් හොරෙන් ගෙනා ඉන්දියාවේ ඇෆ්ගන් කන්සියුලර් ජනරාල් මාට්ටු

කිලෝග්‍රෑම් 25ක රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී අයුරින් ඉන්දියාවට රැගෙන පැමිණි ඉන්දියාවේ ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල් සකියා වර්දාක් මුම්බායි ගුවන්තොටුපොළේදි හසු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ඉහළ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනිය ඉන්දීය රුපියල් කෝටි 18.6ක් වටිනා රත්රන් තොගය ඩුබායි නුවර සිට රැගෙන ආ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. ඇෆ්ගනිස්තාන කන්සියුලර් ජනරාල්වරියගේ රන් ජාවාරම බලධාරීන්ට හසු වී ඇත්තේ ඉන්දීය ආදායම් බුද්ධි ඒකකය මාස 6ක කාලයක් පුරා ඇය පිළිබඳ නිරීක්ෂණය කිරීම හේතුවෙන් බව ද වාර්තා වේ. පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය කර ඇතැයි ද, ඒ පිළිබඳ ඉන්දීය ආදායම් බුද්ධි ඒකකය විමසිලිමත් වූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එම රන් තොගය ඇය හැඳ සිටි කබායේ සඟවාගෙන සිටි බවත්, මුම්බායි ගුවන්තොටුපොළේදි ආදායම් බුද්ධි ඒකකයේ නිලධාරීන් ඇගේ කබාය පරීක්ෂා කිරීමෙන් පසු එම රන් තොගය සොයා ගැනීමට හැකිවූ බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය. රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ඇතුළුව සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් සිටීම හේතුවෙන් සකියා වර්දාක් අත්අඩංගුවට නොගත් බවත්, පසුව ඇය සිය තනතුරෙන් ඉල්ලා අස් වූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.