විදුලිබල පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනේ

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් 12ක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගනු ලැබුවා.

මෙම යෝජිත නව විදුලිබල පනත මගින් ලබාදී ඇති පුළුල් බලතල හේතුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා “රකුසෙක්” බවට පරිවර්තනය විය හැකි බවයි ජනාධිපති නීතීඥ ශාන්ත ජයවර්ධන පවසා සිටියේ.

එසේම පාරිභෝගික ආරක්‍ෂාව සම්පූර්ණයෙන්ම ඉවත් කරමින්, එහි විධිවිධාන යටතේ පිහිටුවා ඇති සමාගම්වලට අසීමිත ලාභයක් ලබාගැනීමට මෙම පනතෙන් ඉඩ සැලසිය හැකි බවද ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා පෙන්වා දෙනු ලැබුවා.

මෙම නව නීතිය රටේ පුරවැසියන්ගේ ස්වෛරීභාවය සහ ජනවරම අනතුරේ හෙළන බවත්, ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය කළ හැකි බවත් පෙත්සම් වෙනුවෙන් පෙනී සිටින අනෙකුත් නීති නියෝජිතයන්ද තර්ක ඉදිරිපත් කළා.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ලබන සඳුදා දිනට නියම කරනු ලැබූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.