ශ්රී ලංකාවේ ජපාන තානාපති Mizukoshi Hideaki, දකුණු අප්රිකානු මහකොමසාරිස් Sandile Schalk සහ ස්විට්සර්ලන්ත තානාපතිනි Siri Walt (09) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු නියෝජිත පිරිසක් හමුවී තිබෙනවා.
ශ්රී ලංකාවේ ජාතිකත්වයන් අතර සාමය සහ සංහිඳියාව පිළිබඳව මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර ඒ පිළිබඳව ජාතික ජන බලවේගයේ ප්රතිපත්ති සහ විසඳුම් ප්රවේශයන් පිළිබඳව දූත මණ්ඩල නියෝජිතයින්ගේ විමසුමට ලක්වූ බවයි එම පක්ෂය සඳහන් කළේ.
ජාතික ජන බලවේගය කිසිදු ලෙසක ජාතිවාදය දේශපාලනය වෙනුවෙන් යොදා ගැනීමට සූදානම් නොමැති බවද, සමානාත්මතාවය සහ ප්රජාතන්ත්රවාදය මත පිහිටා ජාතික ගැටලුවට විසඳුම් ලබා දීමට සූදානම් බවද, ජාතික ගැටලුවට හුදෙකලාව විසඳුම් ලබා දිය නොහැකි අතර එය අනෙකුත් සාධක සමග බැඳී පවතින බැවින් විසඳුමකදී සමස්තය සලකා බැලිය යුතු බවද මෙහිදී ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් පෙන්වා දුන් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.