වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා ඉහළට

  • වතු ජනතාවගේ ගැටළු මා කිසිවිටෙකත් අමතක කර නැහැ.
  • ජනාධිපතිවරයා ලෙස මා යටතේ වතු කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරනවා.
  • ලයින් කාමර නීතියෙන්ම ගම්මාන බවට පත් කරමින් පහසුකම් ලබා දෙනවා.
  • වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපනයත්, වෘත්තීය අධ්‍යාපනයත් දියුණු කිරීමට විශේෂ අවධානයක් යොමු කරනවා.
  • රටේ ආර්ථිකය යළි පණ ගැන්වීමට වතු ජනතාව ලබාදුන් දායකත්වයට ස්තූතියි – ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැළිය අමතමින් ජනපති පවසයි.

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා ඉහළ නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
වතුකරයේ ජනතාවගේ ගැටළු තමා කිසිවිටෙකත් අමතක කර නොමැති බවත්, ජනාධිපතිවරයා ලෙස තමා යටතේ ඉදිරියේදී ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දෙන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ (01) පෙරවරුවේ කොටගල මහජන ක්‍රීඩාංගණයේ පැවති ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැළිය අමතමිනි.

ලංකා කම්කරු කොංග්‍රසයේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා ඊට එක්වූ අතර ක්‍රීඩාංගණය වෙත පැමිණි ජනාධිපතිවරයාව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු පිරිස විසින් පිළිගනු ලැබීය.

අතිවිශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මැයි දින රැළිය සහ පෙළපාලිය පැවැත්වුණු අතර කඳුකර ප්‍රජාව නියෝජනය කරන විශාලතම වෘත්තීය සමිතිය සහ දේශපාලන පක්ෂය වනුයේ ද ‍ලංකා කම්කරු කොංග්‍රසයයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩකරන ජනතාව වෙනුවෙන් සිදු කරන මෙහෙවරට මෙහිදී කඳුකර ජනතාවගෙන් හිමිවූයේ ඉහළ ප්‍රතිචාරයකි.

රැළිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ ලයින් කාමර නීතියෙන්ම ගම්මාන බවට පත්කර ඒවායේ පහසුකම් සංවර්ධනය කරන බවයි. එමෙන්ම වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපනයත්, වෘත්තීය අධ්‍යාපනයත් දියුණු කිරීමට විශේෂ අවධානයකින් කටයුතු කරන බවද පැවසීය.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් වුවද මෙරට ජාතික ආර්ථිකය වෙනුවෙන් වතු ජනතාව ලබාදුන් දායකත්වයට ස්තුතිය පිරිනැමීමටද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

මැයි දින රැළිය අමතා තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,

අප සියලුදෙනා පසුකළේ ඉතා අසීරු කාලයක්. එහිදී වැඩි වශයෙන් දුක් වින්දේ වතුකරයේ ජනතාව බව අප දන්නවා. නමුත් ඔවුන් දුෂ්කරතා හමුවේ වුවද තේ අස්වැන්නෙන් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරිමට දායකත්වය ලබා දුන්නා. තේ අපනයනයෙන් අපට 2023 වසරේ වගේම 2024 වසරේද විදේශ විනිමය ලැබුණා. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා ලෙස මම ඔබට ස්තූතිවන්ත වෙනවා.

රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට හැකි වූයේ ඔබේ දහඩිය මහන්සියෙන් බව පැවසිය යුතුයි.මෙහි සිටින කිසිවෙකුට නැවත 2022 දී රට පැවති තත්ත්වයට යාමට අවශ්‍යයි කියා මම සිතන්නේ නැහැ. අපි කිසිවෙක් ඊට සූදානම් නැහැ. අපි ඉතා දුක්ඛිත තත්ත්වයක් පසු කළා. දැන් මෙරට ආර්ථිකයේ ස්ථාවරත්වයක් ඇති වෙමින් තිබෙනවා. රුපියල ශක්තිමත් වී තිබෙනවා. දැන් සියලුදෙනාට සහන සැලසීමට අප කටයුතු කරනවා.

අප රජයේ සේවකයන් වෙනුවෙන් රුපියල් දස දහසක වැටුප් වැඩි කිරීමක් සිදු කළා. ඒ වගේම අස්වැසුම මගින් ලබාදෙන ප්‍රතිපාදන ඉහළ නංවා තිබෙනවා. ඒ සමගම පුද්ගලික අංශය ද වැටුප් වැඩිකිරීම් සිදු කර තිබෙනවා. සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීම නිසා සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම ද මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.

ඒ වගේම වතුකම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමට අප කටයුතු කරනවා. වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න අප අමතක කර නැහැ. මෙම ලයින් කාමර තිබෙන ස්ථාන නීතියෙන් ගම්මාන ලෙස හඳුන්වා දීමට මම සහ අගමැතිතුමා සාකච්ඡා කර තිබෙනවා. එවිට මෙම ස්ථානවලට ගම්මානවලට ඇති පහසුකම් ලැබෙනවා. ජීවන් තොණ්ඩමන් ඇමතිතුමා සමඟ එම කටයුතු ඉදිරියට ගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන අප විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඔවුන්ට විද්‍යා විෂයයන් ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු බඳවා ගැනීමට අප කටයුතු කරනවා. මම අගමැතිව සිටියදී වතුකරයේ පාසල් ගණනාවක විද්‍යාගාර ආරම්භ කිරීමට කටයුතු කළා. එම ඇතැම් පාසල්වල පවතින ගුරු හිඟය සම්පූර්ණ කර ඒවා දියුණු කිරීමට ද කටයුතු කරනවා. ඒ වගේම වතුකරයේ වෘත්තිය අධ්‍යාපනය දියුණු කිරීමට ද අපි පියවර ගෙන තිබෙනවා.

අපි රජයක් ලෙස කිසිවිටෙක වතු කම්කරු ජනතාව අමතක කර නැහැ. එම ජනතාවගේ සියලු ගැටළු පිළිබඳ මට අවබෝධයක් තිබෙනවා. ඒ නිසා ජනාධිපති ලෙස මා යටතේ වතුකම්කරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන බව ප්‍රකාශ කිරිමට කැමතියි.

1982 වසරේ සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ ඉල්ලීම අනුව වතු පාසල් දියුණු කිරීමේ වගකීම එවකට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මා විසින් භාරගත්තා. ඉන්පසුව 1986 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පුරවැසිකම නොමැති පිරිසට පුරවැසිකම ලබාදෙන ලෙස ප්‍රකාශකළ විට ඒ සඳහා ද මම සහයෝගය ලබා දුන්නා. 2003 ආරුමුගන් තොණ්ඩමන් සමඟ ඉන්දියාවේ පුවරසිභාවය තිබෙන නමුත් ලංකාවේ සිට ඉන්දියාවට යාමට අකමැති වු පිරිසට පුරවැසිභාවය ලබා දුන්නා. දැන් ඒ ප්‍රශ්න සියල්ලම විසඳි තිබෙනවා. දැන් තිබෙන්නේ මේ ප්‍රදේශ දියුණු කිරීමයි. ඒ වෙනුවෙන් තමයි වැටුප් වැඩි කිරීම් සිදු කරමින් මෙම ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අප කටයුතු කරන්නේ.

ඒ වගේම කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ගමට පමණක් නොව වතුකරයටත් ගෙන එන බව ද මම ප්‍රකාශ කිරීමට කැමතියි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ,

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව අද මේ අවස්ථාවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔබ වෙත දැනුම් දුන්නා. මේ වැටුප් වැඩි කිරීම ලබාදීම සඳහා අවුරුද්දක් පුරා දැඩි පරිශ්‍රමයක් දැරුවා. අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කළා. මැයි 01 වනදාට පෙර මෙම වැටුප් වැඩිවීම සිදුකළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දුන්නා. ඒ සඳහා ජනාධිපතිතුමා ‍මීට මාස ගණනාවකට පෙර වතු සමාගම් ගෙන්වා දැනුම් දෙනු ලැබුවා. වතු අයිතිය තිබෙන්නේ රජයටයි. ඔබට අවශ්‍ය පහසුකම් සපයන්න ඔවුන්ට නොහැකි නම් ආණ්ඩුවට තීරණ ගැනීමට සිදු වෙනවා. මේ වැටුප් වැඩි වීම සිදු වන්නේ ඒ අනුවයි.

එතනින් නොනැවතී වැඩිපුර නෙළන දළු කිලෝ එකක් රුපියල් 80ක් ගෙවන්නත් අප තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරලා තමයි අද ඔබ ඉදිරියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එය ප්‍රකාශයට පත් කළේ.

එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ඔබ වෙනුවෙන් ඉඩම් අයිතිය ඇතුළු සියලු අයතීන් ලබා දීම වත්මන් ජනාධිපතිතුමාගේ දැක්මයි. වසර දෙකක් ඇතුළත මේ රට ස්ථාවරත්වයට පත් කළ ආකාරයෙන්ම ඔබ සියලු දෙනාගේ ජීවිත ගොඩ නැඟීම සඳහා ප්‍රායෝගික සැලැස්මක් මේ වන විටත් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක බව ද ඔබ හමුවේ ප්‍රකාශ කිරීමට කැමතියි.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් ,

දැඩි අරගලයකින් පසු වතු කම්කරුවන්ට රුපියල් 1700ක වැටුප් වැඩිවීමක් ලබාදී තිබෙනවා. කෙටි කාලයක් තුළ මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට සහයෝගය දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, මාගේ කෘතඥතාව පළ කිරීමට කැමතියි.

බොහෝ වෘත්තීය සමිති සහ බොහෝ ප්‍රජා සංවිධාන මෙම වැටුප් වැඩිවීම පිළිබඳ සාකච්ඡා කිරීමට අපට සහාය ලබා දුන්නා. කම්කරු කොංග්‍රස වෙනුවෙන් අපි ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. කම්කරුවන්ගේ අරගලයෙන් සහ වෘත්තීය සමිතිවල ශක්තියෙන් කඳුකර ජනතාවට ද, මේ රටේ අනෙකුත් ජන කොටස්වලට ලැබෙන අයිතිවාසිකම් ලබාදීමට කටයුතු කළේ සෞම්‍යමූර්ති තොණ්ඩමන්ය.

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ,

ආරුමුගන් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වීමෙන් පසු අපට මැයි දින රැළියක් පැවැත්වීමට නොහැකි වුණා. ඒ වගේම කොරෝනා වසංගතයට සහ දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදු වුණා. නමුත් දැන් අවුරුදු 4කට පස්සේ අපි දැවැන්ත රැළියක් පවත්වනවා.

පසුගිය වසර 4ක කාලය තුළ අපි විවිධ අවලාදවලට හා ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ඒ වගේම අපේ ජනතාව ද ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. අපි ඉඩම් නැති සමාජයක්. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ අනුව මේ මාසය අවසන් වන විට අපේ ජනතාවට අනිවාර්යයෙන්ම ඉඩම් අයිතිය ලැබෙනවා. ඒ වගේම වතු ජනතාවට ලබාදී තිබෙන පොරොන්දු ඉටු වෙමින් තිබෙනවා. එම ජනතාවගේ සියලු අයිතිවාසිකම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ තහවුරු වනු ඇතැයි විශ්වාස කරනවා.

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්, ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රමේෂ්වරන්, ජාතික සංවිධායක ඒ.පී. ශක්තිවේල්, උප සභාපති ගණපති කනගරාජ්, උප සභාපති අනුසුයා සිවරාජා, වැවිලි මානව සංවර්ධන අරමුදලේ සභාපති භාරත් අරුල්සාමි ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු සහ පාක්ෂිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News