ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ පිළිසකර වැඩට මිලියන 100ක්

ගම්පහ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට රුපියල් මිලියන 100ක මුදලක් රජයෙන් වෙන් කර ඇති බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ පැවසීය.

වෛද්‍ය,හෙද,ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයන්හි නිල නිවාස අලුත්වැඩියා කිරීම් ඇතුළු රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මීට පෙර වෙන් කළ මුදලට අමතරව රුපියල් මිලියන 50ක මුදලක් රෝහලට ලබාදීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා පැවසීය.

රෝහලේ ස්ථාපිත කරන කැත් ලැබ් ඒකකය ජනසතු කිරීම ද 2025 වර්ෂයේ දී සිදු කරන බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ඇමැතිවරයා මේ බව (30) පැවසීය.

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ පවතින අඩුපාඩු සොයා බලා ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් පසුගිය මාර්තු 01වැනිදා සෞඛ්‍ය ඇමැතිවරයා මේ රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී හඳුනා ගත් අඩුපාඩු නැවත කඩිනමින් ප්‍රතිසංස්කරණය කරමින්,සකසමින් ගම්පහ දිස්ත්‍රික් ජනතාවට ගුණාත්මක,විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ද ලබාදීමට ඇමැතිවරයා එහිදී පියවර ගත්තේය. එම නිරීක්ෂණ චාරිකාවේ දී ගනු ලැබු තීන්දු තීරණ නිසි පරිදි ක්‍රියාත්මක වූවාදැයි සොයා බැලීමේ අරමුණින් (30)මේ පසුවිපරම් විශේෂ නිරීක්ෂණ චාරිකාව සිදු කෙරිණි.

රෝහලේ ස්ථාපිත A/B/C/D ශල්‍යාගාරවලට අවශ්‍ය මධ්‍යම වායු සමීකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බවත් E ශල්‍යාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති බවත් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.එල්.වනිගරත්න මෙහිදී පැවසීය.

උගුර, කණ, නාසය වාට්ටුවේ වහලයේ අලුත්වැඩියා කටයුතු ද ආරම්භ කර තිබෙන අතර අක්‍රීයව පැවති සීටී ස්කෑන් (CT) යන්ත්‍රය ක්‍රමවත් පරිදි අලුත්වැඩියා කර රෝගී සත්කාර සේවාවන්ට යෙදවීමට පියවර ගෙන ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

පසුගිය මාර්තු 01වැනිදා සෞඛ්‍ය ඇමැතිවරයා මේ රෝහලේ කළ විශේෂ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව ගනු ලැබූ තීන්දු,තීරණ අනුව රෝහලේ විශාල ප්‍රතිසංස්කරණ පරිවර්තනයක් මේ වන විට සිදු වෙමින් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන් මෙහිදී පෙන්වා දුන් අතර ඒ වෙනුවෙන් ඇමැතිවරයාට විශේෂ ස්තුතියක් ද ඔවුන් පුදකර සිටියේය.

රෝහලේ පවතින හෙද හා කනිෂ්ඨ කාර්ය මණ්ඩල හිඟය විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ද ඇමැතිවරයා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ,දිනිප්‍රිය හේරත්,බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත්,ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්ද්‍රානි මල්වැන්න, ගම්පහ දිස්ත්‍රික්ක මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයන්ත අබේරත්නද, විශේෂඥ වෛද්‍යවරුන් ද, වෛද්‍යවරුන් ද, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක්ද මේ පසුවිපරම් නිරීක්ෂණ චාරිකාවට සහභාගී වූහ.