සිනමාවෙන් හදාගත්ත නම දේශපාලනය නිසා කැත කර ගන්න මම කැමැති නෑ – රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ

මම මේ රටේ නමක් හදාගත්තේ දේශපාලනයෙන් නොවෙයි. සිනමාවෙන් හදාගත්ත නම දේශපාලනය නිසා කැත කර ගන්න මම කැමැති නැහැයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ පැවසුවාය. ඇය මේ බව පැවසුවේ ඇල්පිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි. ගීතා කුමාරසිංහ රාජ්‍ය ඇමැතිනියගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී (29) පෙරවරුවේ ඇල්පිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්විණි. එහිදී ගීතා කුමාරසිංහ මෙසේද කීවාය.

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 51ක් සඳහා එක වසමකට රුපියල් 570,000 බැගින් රුපියල් 29,070,000ක මුදලක් සංවර්ධන කටයුතු සඳහා රජය ලබා දී තිබෙනවා. මේ මුදලින් මේ ප්‍රදේශවල ජනතාවට ප්‍රයෝජනවත් වන හරියාකාර දෙයක් කරන්නයි මට ඕනෑ. මෙය දේශපාලන පක්ෂ භේදයකින් තොරව ජනතාවට සේවයක් වන ආකාරයෙන් කළ යුතුයි. මම කවදාවත් කොන්ත්‍රාත් කරලත් නැහැ. කවදාවත් කොන්ත්‍රාත් කරන්නෙත් නැහැ. අද බොහෝ දේශපාලකයන්ට ජනතාව චෝදනා කරන්නේ ඔවුන් කොන්ත්‍රාත් මඟින් අනවශ්‍ය ධනයක් උපයා ගත්තා කියලයි. මම ඒ චෝදනාව අහගන්න කැමැති නැහැ. ඒ නිසා මේ මුදල් යොදවලා ගමේ කරන සංවර්ධන වැඩ ටික හරියට කරන්න. ඒවා කිරීමේදී අපට ජනතාව පැමිණිලි කරන විදියට අඩුපාඩු තියා කරන්න එපා. මේ වැඩවල ප්‍රගතිය පිළිබඳව අපි ඊළඟ රැස්වීමේදී සොයා බලනවා.