සංචාරක කර්මාන්තයේ දියුණුවට තවත් ගමනාන්ත 49ක් මාසයකින් ගැසට් පත්‍රයට – ඇමැතිනී ඩයනා ගමගේ

සංචාරක කර්මාන්තයේ දියුණුවට තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනාගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ පැවසුවාය.

සංචාරක කර්මාන්තයේ සිදු වන වංචා දූෂණ වැළැක්වීමට සහ අධීක්ෂණයට වෙනම කමිටුවක් පත් කිරීමට සැලසුම් කර තිබෙන බව ද රාජ්‍ය ඇමැතිනිය සඳහන් කළාය. සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මේ බව සඳහන් කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිනිය මෙසේද සඳහන් කළාය. මෙරට සංචාරකයන්ට සිදු වන හිරිහැර සම්බන්ධයෙන් විවිධ පැමිණිලි ලැබෙනවා. මම පසුගිය කාලයේ මේ ගැන හඬ නැඟුවා.සංචාරකයන්ට වැඩි මිලට ආහාර ද්‍රව්‍ය විකිණීම, සංචාරක ගමනාන්ත වෙත අධික මිලට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීම සහ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරන ප්‍රචාරක වීඩියෝපට විකාශය කරමින් සිටි සංචාරකයකුට ලිංගික අතවර කිරීම වැනි විවිධ පැමිණිලි ලැබී තිබෙනවා. මේ කටයුතු වැළැක්වීමට අප පියවර ගන්නවා. වැරදි කරන කීප දෙනෙකු නිසා අප රටේ කීර්තිනාමයට හානියක් වීමට ඉඩ නොදිය යුතුයි.

දුම්රිය ප්‍රවේශ පත්‍ර වැඩි මිලට අලෙවි කිරීමේදී බොහෝ විට ඒවාට අනුබල දී ඇත්තේ දූෂිත නිලධාරීන් කීප දෙනෙක්. මේ තත්ත්වය වළක්වා ගැනීමට අප මාර්ගගත ටිකට්පත් මිල දී ගැනීම ක්‍රමවත් කරමින් සිටිනවා. මේ ක්‍රමය තවදුරටත් වැඩිදියුණු කිරීමට පියවර ගන්නා අතර මෙවැනි උපක්‍රම හරහා දූෂණ වංචා පාලනයත් කළ හැකියි. මෙරට ක්‍රියාත්මක වන SPA සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ විවේචන එල්ල වුණා. එවැනි ස්ථාන වෙනත් රටවල සුවතා මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මකයි. එහිදී රටේ ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව ගැන අවධානය යොමු කළ යුතුයි. ඒවා විධිමත් කිරීමට සහ අධීක්ෂණ යන්ත්‍රණ සංවර්ධනය කිරීමට අප සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටිනවා.