ශ්‍රී ලාංකික සිසුන් 6කට තායිලන්තයේදී ප්ලැටිනම්-රන් සම්මාන

තායිලන්තයේ පැවැති ජාත්‍යන්තර රොබෝටික්ස් තරගාවලියක් වන International Creativity and Innovation Awards තරගාවලියට සිය නිර්මාණ ඉදිරිපත් කළ කොළඹ – 04, බුර්හානි සෙරෙන්ඩිබ් විද්‍යාලයේ සිසුන් 6 දෙනෙකු ප්ලැටිනම් සහ රන් සම්මාන දිනාගැනීමට සමත්ව ඇත.

සම්මාන දිනාගත් සිසුහු (29) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම තරගාවලිය තායිලන්තයේ බැංකොක් නුවර ඉකුත් 26 වැනි දින සිට 28 වැනි දින දක්වා පැවැත්විණි.ලෝකයේ රටවල් 24 කණ්ඩායම් 400ක් නියෝජනය කරමින් තරගකරුවෝ 1,000ක් පමණ සිය නිර්මාණ ඉදිරිපත් කරමින් සහභාගි වී සිටියහ.

මේ විද්‍යාලයේ සිසුන් තිදෙනකු මේ තරගාවලියට ලැව්ගිනි හඳුනාගෙන එහි පිහිටීම කඩිනමින් දැනුම් දෙන (Wild Fire Ditector) Blaze Alert යන්ත්‍රයක් නිෂ්පාදනය කර ඉදිරිපත් කර තිබූ අතර ඒ සඳහා මේ තරගාවලියේ ප්ලැටිනම් සම්මානය හිමි වී තිබේ.

මෙම නිර්මාණය ඉදිරිපත් කළ සිසුන් තිදෙනාට කාම්බෝජයේ පැරගොන් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ 100% නොමිලේ හැදෑරිය හැකි අධ්‍යාපනික ශිෂ්‍යත්ව තුනක් හිමි වී තිබේ.

මෙම විද්‍යාලයේ තවත් සිසුන් තිදෙනකු සාගරය වෙත ගොස් එහි අපද්‍රව්‍ය හදුනා ගෙන ඉවත් කිරීමේ (Ocean Sweeper) යන්ත්‍රයක් මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් කර තිබූ අතර ඒ සදහා රන් සම්මානය හිමි වී තිබේ .

මෙම නිර්මාණය සඳහා Most Interesting Solution යන සම්මානය ද හිමි වී තිබේ.

සම්මාන දිනා ගත් සිසුන් පිරිස එම විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය සබීර් මහතා සහ එම විද්‍යාලයේ පරිගණක තාක්ෂණය උගන්වන මුර්තාසා ගුරු මහතා ද සමග (29) රාත්‍රී 10.00 තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්. ඩී. – 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සඳහා මෙම සිසුන්ගේ මවුපියෝ විශාල පිරිසක් ද ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.