වැස්ස නිසා මධ්‍යස්ථානයට යන්න බැරි වුණොත් 117ට අමතන්න

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම (03) සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර (30) පැවසීය. විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවත් වර්ෂාත් සමඟ හදිසි ආපදා තත්ත්වයන් ඇති වුවහොත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට ද සැලසුම් කර ඇති බවත්පැවසුවේය.

වර්ෂාව නිසා කිසියම් සිසුවකුට විභාගය පවත්වන මධ්‍යස්ථානය වෙත ළඟා වීමට අපහසුතාවක් ඇති වුවහොත් 117 ක්ෂණික දුරකතන අංකය අමතා ඒ බව දැනුම් දිය හැකි බව ද කීය.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා මෙවර අපේක්ෂකයන් 459,979ක් පෙනී සිටින අතර විභාග මධ්‍යස්ථාන 3527කදී විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද ප්‍රකාශ කළේය.

සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම ඇතුළු දැනුවත් කිරීමේ ප්‍රශ්න පත්‍ර, වැඩමුළු යනාදි සියල්ලක්ම (30) මධ්‍යම රාත්‍රී 12න් පසුව තහනම් කළ බවත් කිසියම් පුද්ගලයකු හෝ ආයතනයක් ඊට එරෙහිව කටයුතු කළහොත් දැඩි දඬුවම් ලබාදෙන බවත් පැවසීය