ජාත්‍යන්තර නිවුන් සමුළුවට ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ 6ක් චීනයට

චීනයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර නිවුන් මහා සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ 6 දෙනෙක් (30) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.මේ මහා සමුළුව චීනයේ යුනාන් ප්‍රාන්තයේ මොජෑන් නුවර දී (Mojang) අද (01) සිට ලබන 4 වැනි දින දක්වා රටවල් 57ක නිවුන්නු ලක්ෂයකගේ පමණ සහභාගිත්වයෙන් පැවැත්වේ.මේ මොජෑන් නුවර ගංගා දෙකක් පවතින අතර ඉන් එක ගංගාවක ස්නානය කළහොත් සම නිවුන්නු බිහි වෙන බවත් ගංගා දෙකෙන්ම ස්නානය කළොත් විෂම නිවුන්නු බිහි වන බවත් එරට වැසියෝ විශ්වාස කරති. වර්තමානයේ මේ මොජෑන් නුවර ඉපදෙන දරුවන්ගෙන් 25%ක් නිවුන් දරුවන් වීම ද විශේෂත්වයකි. ලොව ප්‍රථම නිවුන් නර්තන කණ්ඩායම ශ්‍රී ලංකාව සතු වන අතර එම කණ්ඩායම පළමුවරට මෙම ජාත්‍යන්තර සමුළුව අතරතුර දී දේශීය නර්තන කලාව විදහා දක්වමින් නර්තන අංග තුනක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නිවුන් නර්තන උපදේශිකා චමරි ගමගේ මෙනවිය කටුනායක ගුවන් තොටුපොළේ දී පැවැසුවාය. මේ ශ්‍රී ලංකා නිවුන් පිරිස (30) අලුයම 12.15ට චීනයේ කුංමිං නුවර බලා චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායකින් පිටත්ව ගියහ. එළඹෙන නොවැම්බර් 24 වැනි දින ලොව පළමු වරට ග්ලෝබල් – 2024 නිවුන් මහා සමුළුවක් ලොව පුරා සිටින නිවුන්නු 4,000කගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා මේ චීන මහා සමුළුවේ දී ආරාධනා කිරීමට ද නියමිතය.