ඉස්සන් වගාව යථා තත්ත්වයට ගේන්න කඩිනම් පියවර ගත යුතුයි – ඇමැති ඩග්ලස් දේවානන්දා

යම් පසුබෑමකට ලක්වූ මෙරට ඉස්සන් වගාව යථා තත්ත්වයට පත්කිරීම සඳහා මාස 6ක් ඇතුළත කඩිනමින් පියවර ගත යුතු බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා අවධාරණය කළේය. ඉස්සන් වගාකරුවන්ගේ සංගමයේ නියොජිතයන්, ධීවර අමාත්‍යාංශ ලේකම්, නැක්ඩා ආයතනයේ නිලධාරීන් හා ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ (26) ධීවර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බැව් ප්‍රකාශ කළේය.

දේශීය ඉස්සන් කර්මාන්තයේ පැතිර ගිය වයිරස් රෝග හා ඉස්සන් වගාකරුවන්ගේ වැරැදි වගා ක්‍රම හේතු කරගෙන දිලීර රෝගවලට ගොදුරුවීම නිසා පසුගිය වර්ෂවලට වඩා මේ වසරේ අස්වැන්න අඩු වී තිබෙන බවත්, මේවාට අවශ්‍ය විසඳුම් සොයමින් නාරා හා නැක්ඩා ආයතනය තුළ අවශ්‍ය පර්යේෂණ කටයුතු කළ යුතු බවද මෙහිදී ඇමැතිවරයා කීය. දේශීය ඉස්සන් වගාව ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත්කර මෙරටට විදේශ විනිමය ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ඉස්සන් අභිජනන මධ්‍යස්ථානවල හිමිකරුවන් හා වගාකරුවන්ගෙන් ද අදහස් විමසූ ඇමැතිවරයා ඔවුන්ට අවශ්‍ය ණය මුදල් (ජනාධිපති විසින් යෝජනා කළ, සුළු හා මධ්‍ය පරිමාණ වගාකරුවන්ට ලබාදීමට නියමිත ණය) ඇතුළු සහන ද ලබා දීමට කටයුතු කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙහිදී ඉස්සන් වගාකරුවන් ඇමතූ ඇමැති දේවානන්දා පෙන්වා දුන්නේ ඉස්සන් වගාව නිසා විශාල වශයෙන් පාඩු සිදුවන්නේ මේ වගාවට උපදෙස් අදාළ නිලධාරීන්ගෙන් නොගැනීම බවයි. එමෙන්ම ඉස්සන් ගොවිපොළවලින් පිටවන අපද්‍රව්‍ය නිසිලෙස බැහැර කළ යුතු බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ධීවර අමාත්‍යාංශයේ ලේකම් නයනා කුමාරි සෝමරත්න, ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, නැක්ඩා ආයතනයේ සභාපති බී. විජේරත්න, නැක්ඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අශෝකාද ඉස්සන් වගාකරුවන්ගේ සංගම්වල නියෝජිතයන් ඇතුළු උසස් නිලධාරින් පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.