ඉන්දියාව ලකුණු 45-10 කින් පරාජය කළ ශ්‍රී ලංකාව ආසියානු රග්බි ශූරතා අවසන් මහා තරගයට

ඉන්දියාවට එරෙහිව පැවැති දෙවැනි අවසන් පූර්ව වටයෙන් ජයග්‍රහණය අත් කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියාතික රග්බි පළමු කොටසේ ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. ඊයේ කොළඹ තුරඟ තරග පිටියේ විදුලි ආලෝකධාරා මැද පැවැති මේ තරගයේ පළමු භාගය නිමා වන විට ශ්‍රී ලංකාව ලකුණු 21-3කින් පෙරමුණ ගත් අතර, තරගය නිමා වූයේ ශ්‍රී ලංකාවට ලකුණු 45-10ක ජයක් අත්කර දෙමිනි. සුහිරූ ඇන්තනීගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේදී කසකස්තාන පිල සමඟ තරග වැදීමට නියමිතය. කසකස්තානය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ ඊයේ පස්වරුවේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ලකුණු 33-31කින් කටාර් රාජ්‍ය පිල පරාජය කරමිනි. ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර අවසන් මහා තරගය ලබන 4 වැනිදා රාත්‍රී 7.00ට තුරඟ තරග පිටියේදීම පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර එදිනම පස්වරු 4.00ට තුන්වැනි ස්ථානය සඳහා කටාර් රාජ්‍ය පිල සහ ඉන්දියාව තරග වැදීමට නියමිතය.

කසකස්තානය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ ඊයේ පස්වරු පැවති පළමු අවසන් පූර්ව තරගයෙන් කටාර් රාජ්‍ය පිල ලකුණු 33-31 කින් පරාජය කරමිනි. තරගයේ පළමු භාගය අවසන් වන විට ලකුණු 21-14කින් පෙරමුණ ගැනීමට කටාර් රාජ්‍ය පිල සමත් වුවද 66 වැනි මිනිත්තුවේදී ලකුණු 33-31 කින් ඉදිරියට පැමිණි කසකස්තානය තරගය නිමා වන තුරු පෙරමුණ රැක ගත්තේය.

රටවල් 4ක සහභාගිත්වයෙන් වසර 7කට පසු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර තරගාවලිය වන ආසියාතික රග්බි පළමු කොටසේ ශූරතාවලියේ ජයග්‍රාහී කණ්ඩායම ලබන වසරේ ආසියානු 15 සාමාජික ප්‍රධාන ශූරතාවලියට සුදුසුකම් ලබනු ඇත.