අර්බුදවලට මුහුණ පෑ බොහෝ රටවල් නැඟී සිටියේ වැඩ කරන ජනතා ශක්තියෙන් – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

අර්බුදවලට මුහුණ දුන් ලොව බොහෝ රටවල් නැවත ගොඩනැඟුණේ වැඩ කරන ජනතා ශක්තියෙන් බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි. මැයි දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ඒ පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

වැඩකරන ජනතා ලෙයින්, දහඩියෙන්, ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළා වූ ඉතිහාස සටහන් මත අප 138 වැනි වරට ලෝක කම්කරු දිනය සමරමු. මෙවර අප එය සමරනුයේ වැඩබිමද අභියෝග රැසකට ලක් වූ, ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ ආර්ථික අර්බුදයක තීරණාත්මක සටහන් මතය. එහෙත් කිසිදු ගිවිසුමක් හමුවේ කම්කරු අයිතීන් නොසලකා හැරීමට අපි කටයුතු නොකළෙමු. වැඩකරන ජනතා කතිකාවකින් ගන්නා තීන්දු තීරණ මත වැඩබිම තීරණය කරන්නෙමු. මෙවැනි අර්බුදයන්ට මුහුණ දුන් ලොව බොහෝ රටවල් නැවත ගොඩනැඟුණේ වැඩ කරන ජනතා ශක්තියෙනි. එලෙස නැවත ආර්ථිකය ගොඩනැඟීමට වැඩ කරන ජනතාව අඛණ්ඩව දුන් ආරම්භය පරිත්‍යාගය හා ඉටු කළ දායාදයට විශේෂ ගෞරවය පළ කරමි. එමඟින් සෑම ක්ෂේත්‍රයකම නව පිබිදීමක් ඇති වීමට ඉවහල් විය. රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය, ස්වයං රැකියා ආර්ථික බලවේගයන් ලෙස ශක්තිමත් කිරීමට කටයුතු කරමු. එලෙස අප රට තුළ ද ගොවි ජනතාව රට අහරින් ස්වයංපෝෂිත කිරීමට පෙරමුණ ගෙන කටයුතු කිරීම ඇති කළ පිබිදීම ඉතා ගෞරවයෙන් සිහිපත් කළ යුතුය. වැඩ කරන ජනතාව රජයටද, රජය වැඩ කරන ජනතාවටද දුන් ජයග්‍රහණ බොහෝය: පසු කළ දුක්වේදනා බෝහෝය. දුෂ්කර අභියෝග ජය ගනිමින් වැඩ කරන ජනයා අධිෂ්ඨානයෙන් අද සිටින තත්ත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරමු. එමඟින් අනාගතය වඩාත් ස්ථාවර විශ්වාසනීය අනාගතයක් ළඟා කරගැනීමට එක්ව කැප වෙමු.