මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම විභාගයට පෙනී සිටි සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවැසීය. පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්‍යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙළට අනුව මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එම විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සිදු වන බව ඇමැතිවරයා පැවසුවේය.
මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිල අන්තර්ජාල ගුවන් විදුලි නාළිකාව (NIE Visual Radio) ආරම්භ කිරීමේ වැඩසටහනෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ඇමැතිවරයා (29) මේ බව කියා සිටියේය.
මෙම අභියෝගාත්මක කාර්ය සිදු කිරීම සඳහා ගුරුභවතුන්ගේ දැඩි කැපවීමක් අවශ්‍ය බවත් ඒ සඳහා මේ වන විටත් උසස් පෙළ විද්‍යා, ගණිත, තාක්ෂණවේදය හා විදේශ භාෂා විෂය ධාරා ඉගැන්වීමට අලුතෙන් ගුරුවරුන් 3000ක් බඳවා ගන්නා බවත් ඇමැතිවරයා කීය. මේ සතිය තුළ ඔවුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් වන බව ද ඇමැතිවරයා පැවසුවේය.
පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පමණක් පන්ති පවතින පාසල්වල දරුවන් උසස් පෙළ හැදෑරීමට වෙනත් පාසලකට ඇතුළත් වීමේ ගැටලුවක් මෙහි දී මතු වන නිසා ඊට විසඳුම් ලෙස අමාත්‍ය මණ්ඩල සන්දේශයක් හරහා අනුමැතිය ලබාගෙන එම පාසල්වල දරුවන්ට ප්‍රතිඵල ලැබෙන තෙක් අවශ්‍ය පාසල්වලට සුදුසු පරිදි අනුයුක්තයක් ලබාදීමට ක්‍රියා කරන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණ වනුයේ පාසල් දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඇති විය හැකි ප්‍රමාදයන් වැනි අනිසි ප්‍රමාදයන් වළක්වා ගනිමින් මෙම වසරත් සමඟ වසර දෙකක කාලයක් තුළ පසුගිය කොවිඩ් සමයේ අතපසු වූ අධ්‍යයන කටයුතු යථා තත්ත්වයට ගෙන ඒම බවත් එය සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේම සහයෝගය හා කැපවීම අත්‍යවශ්‍ය බවත් ඇමැතිවරයා පැවසුවේය.
ජාතික අධ්‍යාපන ආයතනයේ නිල අන්තර්ජාල ගුවන් විදුලි නාළිකාව විකාශය වීමේ සමාරම්භක අවස්ථාවට යුනිසෙෆ් ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග්(Christian Skoog) හා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.