වැලිගම නගරයේ පෞද්ගලික කාන්තා විද්‍යාලයේ නේවාසිකාගාරයක (29 ) පස්වරුවේ ඇතිවු වූ ගින්න පාලනය කොට නිවා දැමීමට කටයුතු කළ බව වැලිගම පොලිසිය කියයි.
වැලිගම නගරයේ පෞද්ගලික කාන්තා විද්‍යාලයක නේවාසිකාගාරය පිහිටි සිව් මහල් ගොඩනැඟිල්ලේ තෙවැනි මහලේ (29) දින පස්වරුවේදී ගින්නක් හටගෙන තිබේ.
එම අවස්ථාවේදී එම අවට පදිංචි සිංහල මුස්ලිම් ජනතාව සහ රැස්ව සිටි පිරිස එක්ව ජල බඳුන් උපයෝගී කරගනිමින් ගින්න පාලනය කරමින් ගින්න නිවා දැමීමට පියවර ගෙන තිබේ. කෙසේ නමුත් එම ගින්න නිසා එහි තුන්වැනි මහලේ තිබූ වටිනා දේපළවලට හා උපකරණවලට විශාල අලාභ හානි සිදුව තිබිණි.
ගින්න ඇතිවන අවස්ථාව වන විට දරුවන් එකසිය පනහකට ආසන්න පිරිසක් රැඳී සිටිය ද කඩිනමින් එම දරුවන් පිටතට ගැනීමට පියවර ගෙන තිබූ බවත් එම නිසා කිසිවකුටත් අනතුරක් නොමැතිත් බව පොලිසිය සඳහන් කරයි.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් ගින්න හටගන්නා අවස්ථාවේදී එම අවට විදුලි බලය අත්හිටුවා තිබී ඇත. ගිනි ගැනීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පැවැසීය.
මාතර මහ නගර සභාවේ ගිනි නිවීමේ අංශයේ නිලධාරීන් පැමිණෙන විට ජනතාව විසින් ගින්න නිවා දැමීමට පියවර ගැනීම නිසා එම ගිනි නිවීමේ රථ නැවත පිටව ගියේය.
විශේෂයෙන් මෙම පෞද්ගලික විද්‍යාලය පසුගිය මාර්තු මස 3 දින ද ගිනි ගැනීමට ලක්ව තිබූ බව පොලිසිය කියයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහගේ නියෝග මත වැලිගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති උපුල් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ මෙහෙයවති.