රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ‘ඩිල්මා සිනමන්’ වෙළෙඳ සන්නාමය එළිදැක්වීම වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර හෝටලයේ (28) පැවති උත්සවයට එක්වෙමිනි.
‘සිලෝන් ටී’ නාමය ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ගෙන ගිය ඩිල්මා සන්නාමය සිය සමාගම හරහා සිදු කරනු ලබන දේශීය අපනයන තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ කුරුඳු කර්මාන්තයට ද ප්‍රවිෂ්ට වෙමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු කුරුඳු නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳ පොළට ඩිල්මා සන්නාමය යටතේ හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ලෝක සූපවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රවීණ සූපවේදී තෝමස් ගුග්ලර් සංකේතාත්මකව ඩිල්මා කුරුඳු නිෂ්පාදන එළි දැක්වීම සිදු කරන ලදී.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.
අතීතයේ මෙරට ප්‍රධාන අපනයන භෝගයක්ව පැවති කුරුඳු වගාව නැවත රට තුළ ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ කෘෂි නවීකරණ වැඩසටහන සමඟ ක්‍රියාවට නංවා තිබෙනවා.
ඩිල්මා සමාගම ‘සිලෝන් ටී’ නාමය නැවත පණ ගැන්වූ ආකාරයටම ‘සිලෝන් සිනමන්’ නාමය ඉදිරියට ගෙන ඒම පිළිබඳ මෙහිදී සිය ස්තූතිය කරනවා. මෙය රටේ ආර්ථිකයේ නව පරිච්ඡේදයක ඇරඹුම වෙනවා.
කුරුඳු වගාව එදා අපේ රටේ ප්‍රධාන භෝගයක්ව පැවතුණා. පොලොන්නරුව රාජධානිය බිඳවැටීමෙන් පසු අපගේ රාජධානි නිරිතදිග තෙත් කලාපයට සංක්‍රමණය වන විට රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ගියේ කුරුඳු කර්මාන්තයයි. අපට කුරුඳු නොතිබුණා නම් දඹදෙණිය, යාපහුව, ගම්පොළ, රයිගම හෝ කෝට්ටේ යන රාජධානි කිසිවක් බිහිවන්නේ නැහැ. කුරුඳු අපේ රටේ ඉතිහාසය සමඟ බැඳී තිබෙන්නේ මේ ආකාරයටයි.
එදා යාපනය පාලනය කළ පාලකයා මේ අතරින් ඉතා වාසනාවන්ත වුණා. ඔහු සතුව අලි ඇතුන් සහ මුතු තිබුණා. නමුත් කුරුඳු කර්මාන්තයෙන් කොටසක් ද තමා සතුව පැවතිය යුතු බව ඔහු සිතුවා. ඒ අනුව ඔහු පුත්තලම අල්ලා ගෙන එහි සිටි පාලකයන්ගෙන් කප්පම් ලබාගත්තා. නමුත් එය ප්‍රමාණවත් නොවන බව සිතූ ඔහු වෙළඳාම පාලනය කළ යුතු බවට තීරණය කළා. ඒ අනුව ඔහු එහි සිට රයිගම සහ කෝට්ටේ රාජධානි අල්ලා ගත්තා.
ඔහුට තවදුරටත් මේ ආකාරයට කටයුතු කිරීමට ඉඩදිය නොහැකි බව වෙළෙදාම පාලනය කළ කේරළ වෙළෙන්දන් සිතුවා. ඒ නිසා ඔවුන් බලකොටුවක් ඉදිකර ආර්ය චක්‍රවර්තී පරාජය කිරීම සඳහා ඔවුන් අතුරින් ප්‍රමුඛයා වූ අලකේශ්වර මෙහි එව්වා. ඉතින් මේ අපේ ඉතිහාසයේ තවත් කොටසක්.
හයවන පරාක්‍රමබාහු රජතුමා උඩරට රාජධානිය අත්පත් කරගත්තේද සමස්ත කුරුඳු කර්මාන්තය ඔහුගේ පාලනයට ගත හැකි නිසා බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම එම රාජධානියේ අසිරිය සැළලිහිණි සංදේශයේ සඳහන් වෙනවා.
පෘතුගීසීන් සමඟ සටන් කළ සීතාවක රාජසිංහ රජුගේ ක්‍රියාකලාපය දෙස බැලුවහොත්, ඔහු පෘතුගීසීන් උඩරට බලකොටුවට සීමා කළා. ඒ වගේම ඔහු කොළඹ කොටුව සහ මීගමුව බලකොටුව අත්පත් කර ගත්තා. ඔහුගේ රාජධානියේ සහ කෝට්ටේ රාජධානියේ එකතු කරන ලද කුරුඳු සියල්ල ඔහු යටතේ තබාගත්තා. ඉන්පසු ඔහු ඒ කුරුඳු සියල්ල අතුරින් උසස් තත්ත්වයේ කුරුඳු පමණක් ඉතිරි කර ගුණාත්මකභාවයෙන් අඩු කුරුඳු සියල්ලම පුලුස්සා දැම්මා.
මේ ආකාරයට අපේ රාජධානි සමඟ කුරුඳු කර්මාන්තය බැඳී පැවතුනා. ඒ වගේම උඩරට රාජධානිය පවත්වාගෙන යාම සඳහා මුදල් ලැබුණේ කුරුඳු කර්මාන්ත මඟින්. නමුත් කුරුඳු වෙනුවට කෝපි සහ තේ පැමිණීමත් සමඟ කුරුඳු මිල පහළ යෑම නිසා සමස්ත තත්ත්වයම වෙනස් වුණා.
නමුත් තවමත් ශ්‍රී ලංකාවේ කුරුඳු ලෝකයේ හොඳම කුරුඳු බවට පිළිගැනීමක් තිබෙනවා. ඩිල්මා සමාගම “සිලෝන් ටී” යන නාමය නැවත පණ ගැන්වූ ආකාරයටම “සිලෝන් සිනමන්” නාමය නැවත මතු කර තිබෙනවා. ඒ පිළිබඳ මම ස්තූවන්ත වන අතර මෙය මෙරට ආර්ථිකයේ නව ගමනක ආරම්භය බව ද මා විශ්වාස කරනවා.
රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බව කිව යුතුයි.
සිංහල රජ සමයේ සිට 1948 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් අප නිදහස ලබනතුරුම කෘෂිකර්මාන්තය අපේ ප්‍රධාන ආර්ථික ක්‍රමය බවට පත්ව තිබුණා. නමුත් පසුව අප කෘෂිකර්මාන්තය අමතක කර දැමුවා. නැවත කෘෂි ආර්ථිකයක් කරා රට ගෙන යාමට කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ අප සැලසුම් කර තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය නව නීති ගෙන ඒමටද අපේක්ෂා කරනවා. මෙම වැඩපිළිවෙළ සඳහා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද සහාය හිමි විය යුතුයි.
ඩිල්මා සමාගමට මගේ ස්තූතිය පිරිනමන අතර ඔබට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට අප කටයුතු කරන බව ද සඳහන් කිරීමට කැමතියි. ඩිල්මා සමාගමටත් ඔබ සැමටත් මගේ සුභ පැතුම් පිරිනමනවා.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ විදෙස් මහකොමසාරිස්වරුන් සහ තානාපතිවරුන්, ඩිල්මා සමූහ ව්‍යාපාරයේ සභාපති ඩිල්හාන් ප්‍රනාන්දු ප්‍රමුඛ එම පවුලේ සාමාජිකයන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.