නිවසක තනිව විසූ අවිවාහක වයෝවෘද්ධ නීතිඥවරියක නිවසේ ඇඳ මත අභිරහස් ලෙස ඝාතනය කර දේපළ කොල්ලකා ඇතැයි කොහුවල පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙහිවල කළුබෝවිල පාර, ද සිල්වා හරස් පාර පදිංචිව සිටි සේපාලිකා චාන්දනී සතරසිංහ(64) යන අයයි. ඝාතනයට ලක් වූ බව කියන නීතිඥවරිය මෙම නිවසේ තනිව වාසය කර ඇති අතර ඇයගේ සොයුරා කැනඩාවේ වෙසෙන බව පොලිසිය සඳහන් කරයි.
ඇය ඔහු සමඟ නිරතුරුවම දුරකථනයෙන් සබඳතා පවත්වන අතර ඉකුත් පෙබරවාරි 15 වෙනිදින අවසන් වතාවට ඔවුන් දෙදෙනා දුරකථනයෙන් සම්බන්ධ වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කැනඩාවේ පදිංචි සහෝදරයාගේ මිතුරකු වන මිරිහාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ඊයේ 29 දහවල් කොහුවල පොලිසිය වෙත පැමිණ කැනඩාවේ පදිංචි මිතුරාගේ සහෝදරිය ඔහුට පෙබරවාරි 15 වැනි දිනෙන් පසුව දුරකථනයෙන් සබඳතා නොපැවතීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් කොහුවල පොලිසිය දැනුම්වත් කරන ලෙස පැවසීමෙන් අනතුරුව පැමිණිල්ලක් කළ බව පොලිසිය කියයි.
ඒ අනුව කොහුවල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ නිවස වෙත ගොස් සොයා බැලීමේ දී ඉදිරිපස ස්වංක්‍රීය ගේට්ටුවට යාබද ගේට්ටුව ඉබි යතුරු දමා වසා තබා තිබී ඇති අතර ස්වයංක්‍රීය ගේට්ටුවේ කුඩා ගේට්ටුවෙන් වත්තට ඇතුළු වී පරික්ෂා කිරීමේ දී නිවසේ ඉදිරිපස දොර වසා තිබී ඇති අතර නිවසේ පිටුපස දෙසට ගොස් බැලීමේ දී මුළුතැන් ගෙයි දොර අඩක් විවෘත කර තිබෙනු දැක එයින් ඇතුළු වී පරික්ෂා කිරීමේ දී නිවස තුළ බඩුමුට්ටු ඇද දමා තිබෙන අයුරු දැක තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අනතුරුව තවදුරටත් පරික්ෂා කිරීමේදී නිවසේ සාලයට යාබද කාමරයේ ඇඳ රෙදි පිළිවලින් යම් දෙයක් වසා දමා තිබී ඇති අතර එය හොඳින් පරික්ෂා කිරීමේ දී පාදයක් සහ හිසකෙස් දක්නට ලැබීමෙන් අනතුරුව වැඩිදුරටත් සිදුකළ සොයා බැලීමේ දී රෙදිවලින් වසා තිබූ නීතිඥවරියගේ නරක් වූ මළ සිරුර සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
නිවස තුළට ඇතුළු වී යම් සහසිකයෙක් හෝ පිරිසක් නිවසේ විදුලිය විසන්ධි කර ඇයව ඇඳ මත ඝාතනය කිරීමෙන් අනතුරුව ඇයගේ සිරුර මතට රෙදිපිලි දමා වසා නිවසේ අල්මාරි කබඩ් අවුස්සා දේපළ සොයා ඇති අතර ඒ අයුරින් මුළු නිවසෙම බඩුමුට්ටු අවුස්සා දමා ඇති බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
සිදුවී ඇති ඝාතනය කවදා සිදුවී ඇත්ද යන්න නිශ්චිත වශයෙන් කිව නොහැකි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි ගල්කිස්ස අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් රත්න ගමගේ මහත්මිය මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත් වූ අතර මළ සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර අධිකරණ වෛද්‍ය නිලධාරියකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස පොලිසියට නියෝග කළේය.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියේ ප්‍රසන්න බ්‍රාහ්මණ, සහකාර පොලිස් අධිකාරි එම් ඩී. ඩී. නිලංග උපදෙස් මත කොහුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත පිටිගල ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එස්. පරණගම, පොලිස් කොස්තාපල්වරුන් වන 192016 හේරත් 83745 මදුසංක මහත්වරුන් පරීක්ෂණ පවත්වති.