ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්රිමියර් ලීග් විස්සයි20 තරගාවලියට විදෙස් ක්‍රිකට් ක්රීඩකයන් 500ක් පමණ ලියාපදිංචිවී සිටිති. ක්රීඩකයින් තෝරා ගැනීමේ ක්‍රීඩක කෙටුම්පත් (Player draft) සඳහා ක්රීඩකයින් ලියාපදිංචි කිරීම ඊයේ අවසන් වූ අතර, වෙන්දේසියට ක්රීඩකයින් 150ක් දක්වා අඩුකොට ඉදිරිපත් කිරීමට නියමිතය.
ලියාපදිංචි වූ ක්රීඩකයින් අතරේ වැඩි වශයෙන් පකිස්තානය, නවසීලන්තය, බංග්ලාදේශය, දකුණු අප්රිකාව, ඇෆ්ගනිස්ථානය සහ සිම්බාබ්වේ යන රටවල ක්‍රිකට් තරු ඇතුළත්ව සිටිති. මැයි මස මැදදී කොළඹ තරුපහේ හෝටලයකදී ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීමට නියමිතය.
මේ දිනවල පැවැත්වෙන අයිපීඑල් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩක ඩේවිඩ් මිලර්, බාබර් අසාම්, ෂහීන් ෂා අෆ්රිඩි, ජේම්ස් නීෂම්, ටිම් සවුති සහ ඉෂ් සෝදි වැනි ක්රීඩකයින් මෙවර ලංකා ප්රිමියර් ලීග් වෙන්දේසිය සඳහා ලියාපදිංචි වූ විදේශීය ක්‍රිකට් ක්රීඩකයින් අතර සිටීම කැපීපෙනේ.
මෙම වෙන්දේසියේදී වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් ක්රීඩකයින් කිහිප දෙනෙකු ඇතුළු දේශීය ක්රීඩකයින් 120ක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ලබන ජූලි 1දා සිට 21 දක්වා ලංකා ප්රිමියර් ලීග් විස්සයි20 තරගාවලිය පැවැත්වේ. කණ්ඩායම් පහකින් සමන්විත මෙම තරගාවලියට සම්පූර්ණ තරග 24ක් ඇතුළත් වේ. පසුගිය වසරේදී වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් බී ලව් කැන්ඩි ශූරයන් බවට පත්විය.