පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 223ක් සඳහා නිවාස ඉදිකර භාරදී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග පැවසීය.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අමාත්‍යාංශයේ පැවැති හමුවකට සහභාගි වෙමිනි.
තවත් නිවාස 11ක ඉදිකිරීම් මේ වන විට ආරම්භ වී තිබේ. පවුල් 223ක් සඳහා නිවාස ඉදිකිරීම සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 139කි. ඉඩමක් සමඟ නව නිවෙසක් ඉදිකිරීම, නව නිවාස ඉදිකිරීම, නිවාස අලුත්වැඩියාව මේ යටතේ සිදු කර තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ වැඩිම පවුල් සංඛ්‍යාවකට නිවාස ලබා දී ඇත්තේ ගම්පහ කටුවාපිටිය දේවස්ථානය ආශ්‍රිතවයි. කටුවාපිටිය දේවස්ථානය ආශ්‍රිතව පවුල් 144කට මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ සහන සැලසී ඇත. එම දේවස්ථාන ආශ්‍රිතව පමණක් නිවාස ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 90.855කි.
කොච්චිකඩේ දේවස්ථානය ආශ්‍රිතව පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවුල් 09කට නිවාස ඉදිකරදී ඇති අතර මඩකළපුව දිස්ත්‍රික්කයේ මෙලෙස පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 70කට නිවාස ඉදිකරදී ඇත.
මෙම ව්‍යාපෘතියේ දෙවැනි අදියර යටතේ නිවාස 11ක් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 5කට අධිකය. එම නිවාස ව්‍යාපෘතිය ද කඩිනමින් අවසන් කරන ලෙස ද ජාතික නිවාස සංවර්ධන අධිකාරියට තමා උපදෙස් දුන් බව ඇමැති ප්‍රසන්න රණතුංග සඳහන් කරයි.
මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානයට නව ඉරුදින දහම් පාසල් ගොඩනැඟිල්ලක් ද රජය මඟින් ඉදිකරදී තිබේ. ඊට ප්‍රතිපාදන සපයා ඇත්තේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයයි. මේ සඳහා වැය කළ මුදල කෝටි 13කට අධිකය. පන්ති කාමර 14කින් සමන්විත මෙම ඉරුදින දහම් පාසල් ගොඩනැඟිල්ල තට්ටු 02කින් සමන්විතය. නාගරික සංවර්ධන අමාත්‍යාංශය මෙහි ඉදිකිරීම් භාරව කටයුතු කළ අතර පසුගිය අප්‍රේල් 09 වැනිදා එම ගොඩනැඟිල්ල දේවස්ථානයට භාර දීමට පියවර ගැනිණ.