කොළඹ නගරය ඇතුළුව රටේ ප්‍රධාන මංසන්ධිවල රථවාහන ධාවනයට බාධාවන ලෙස ආලෝක සංඥා ආසන්නයේ රැඳී සිටිමින් සිඟමනේ යෙදෙන යාචකයන්ට මුදල් ලබා දෙන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබේ.
රියැදුරන් විසින් හෝ වාහනයේ ගමන් ගන්නන් විසින් යාචකයන්ට මුදල් ලබා දීමට කටයුතු කළ හොත් ඔවුන්ට දඩ මුදලක් නියම කිරීමට ද පොලිසිය තීරණය කර තිබේ.
මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් මෙන්ම සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් කණ්ඩායම් යොදවා ආලෝක සංඥා ආසන්නයේ රැඳී සිටින බවත් යාචකයන්ට මුදල් දෙන වාහන ඔවුන් මාර්ගයෙන් හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කරන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (රථවාහන පරිපාලන සහ මාර්ග ආරක්ෂාව) ඉන්දික හපුගොඩ ප්‍රකාශ කළේය. මේ බව සඳහන් කළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී (29) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි. යාචකයන් ඉවත් කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බව ද රියැදුරන් එවැනි යාචකයන් සඳහා මුදල් ලබාදීම නතර කරන්නේ නම් ඔවුන් රැඳී නොසිටින බව ද හෙතෙම කීවේය.
මේ සම්බන්ධයෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පට ඔස්සේ රියැදුරන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් රියැදුරන්ගේ විශේෂ අවධානය යොමු කරන ලෙසද ඒ මහතා ඉල්ලීමක් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවේය.
ශ්‍රී ලංකා මෝටර් රථ සංගමය, කොළඹ මහ නගර සභාව, ශ්‍රී ලංකා පොලිසිය එක්ව පැවැති ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ කමිටු සභාවේ දී අනුමත කරගත් පරිදි ශ්‍රී ලංකාවේ සංඥා ලාම්පු ආසන්නයේ රථවාහන තදබදයක් ඇතිවන ආකාරයෙන් මංසන්ධි සහ අලෝක සංඥා පුවරු අසල රථවාහන ගමනාගමනයට අවහිරතාවක් ඇතිවන අයුරින් සිඟමනේ යෙදෙන යාචකයන් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. ලංකාවට විදේශිකයන් පැමිණීමේ දී ඔවුන්ට රිය පැදවීමේ බලපත්‍රය ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයෙන් රියැදුරු බලපත්‍රයක් ලබාගත යුතු වෙනවා. ලොව රටවල් 180 ක් සමඟ සම්මුතියකට සම්බන්ධ වෙලා, සාමාජිකත්වය ලොව ආයතන 210 කට පමණ හිමිකම් තිබෙන මේ මෝටර් රථ සංගමය වසර 120 ක් පමණ මේ කාර්යය කරගෙන යනවා. ලංකාවට පැමිණෙන විදේශිකයන් මාර්ගයේ ගමන් කරන අවස්ථාවල දී විවිධ අපහසුතා ඇති වෙනවා මංසන්ධි ආසන්නයේදී. ඔවුන්ගෙන් මුදල් ඉල්ලූ පසුව විවිධ අපහසුතාවට පත්වෙනවා.
මෙවැනි අවස්ථාවල යාචකයන් විවිධාකාරයෙන් වාහන සූරනවා. පොලිස් කොට්ඨාස 45 ම නිලධාරීන් දැනුවත් කර තිබෙනවා. අපි මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් ද නිකුත්කර තිබෙනවා. පසුගිය සතියේ දී මෙවැනි සිඟමනේ යෙදෙන යාචකයන් 94 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. අධිකරණයට ඉදිරිපත් කොට දිගු කලක් බන්ධනාගාර ගත කරන්නෙත් නැහැ. ඔවුන්ට යම්කිසි දඩ මුදලක් නියම කොට ඇප මත මුදා හරිනවා. එලෙස ඇප මත මුදාහැරි පසුව නැවතත් ඔවුන් එම රාජකාරියම කරනවා. කොළඹ දිශාව තුළ සංඥා ලාම්පු 180 ක් පමණ තිබෙනවා. ලංකාව පුරා මෙවැනි ස්ථාන 350 ක පමණ සංඥා ලාම්පු තිබෙනවා. රතුඑළිය ක්‍රියාත්මක වනවිට යාචකයන් සිඟමනේ යෙදෙනවා. ඇතැම් අවස්ථාවල විවිධ අනතුරු ද සිදුවෙනවා. ඇතැම් යාචකයන් වුවමනාවෙන්ම වාහනවලට හැප්පෙනවා. මෙවැනි තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකා මෝටර් රථ සංගමය ඇතුළු ආයතන එක්ව මේ තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරනවා.
වීඩියෝ මගින් ඒ පිළිබඳ දැනුවත් කරනවා. එවැනි අවස්ථාවල මුදල් දීමෙන් වැළකී සිටිය යුතු වෙනවා. දණ්ඩ නීති සංග්‍රහයට අනුව මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්. පොලිසිය හා මෝටර් රථ සංගමය, කොළඹ නගර සභාව අපේක්ෂා කරන්නේ නගරයට පැමිණෙන විදේශිකයන්ට ඔවුන්ගේ ගමනාන්තය දක්වා කිසිඳු අපහසුතාවකින් තොරව පවතින බාධාවන් ඉවත් කිරීමයි. සිඟමනේ යෙදෙන යාචකයන්ගෙන් කිසිඳු බාධාවකින් තොරව ඔවුන්ගේ ගමනාන්තය දක්වා ගමන් කිරීමට අවශ්‍ය වාතාවරණය සැලසීමයි. සිඟමනේ යෙදෙන පුද්ගලයන් ඉවත් කිරීම සඳහා පොලිසියට ක්‍රමවේදයක් නැහැ. මේ සම්බන්ධයෙන් මාර්ගය භාවිත කරන රියැදුරන් දැනුවත් කිරීම තුළින් එය නවත්වන්න පුළුවන්. යාචකයන්ට මුදල් නොදීම තුළ එය සිදුකරන්න හැකිවෙනවා. ඒ අනුව අපි රියැදුරන්ගෙන් ඉල්ලීමක් කරන්නේ මෙවැනි යාචකයන්ට මුදල් දීමෙන් වළකින ලෙසයි.
ඒ අනුව මාර්ග සංඥා කුලුනු ආසන්නයේ යාචකයන් රැඳෙන්නේ නැහැ. අපි එවැනි යාචකයන් පිරිසකට රැකියා දෙන්නත් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ඇතැම් අවස්ථාවල මෙය ව්‍යාපාරයක් විදියට කරගෙන යනවා. මේ සම්බන්ධයෙන් අපි පොලිස් නිලධාරීන් ද දැනුවත් කර තිබෙනවා. රථවාහන නිලධාරීන් කටයුතු කරන්නේ මහජන සුබ සිද්ධිය වෙනුවෙන්. ඉදිරියේ දී ආරක්ෂිත කැමරා පද්ධති භාවිත කරමින් ලොව දියුණු රටවල මෙන් රථ වාහන හැසිරවීමට අවශ්‍ය පියවර ගන්නවා. ඇතැම් යාචකයන් රැකියාවක් වශයෙන් සිඟමනේ යෙදෙනවා. ඔවුන් මත්ද්‍රව්‍යවලට ද ඇබ්බැහි වී තිබෙනවා. අපරාධ විසඳීම සම්බන්ධයෙන් සියයට 85 ක පමණ ප්‍රගතියක් ශ්‍රී ලංකා පොලිසිය ලබා තිබෙනවා. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් ස්ථිර තීන්දු තීරණවලට පැමිණිය යුතු වෙනවා.
ලංකා ඔටෝමොබයිල් සංගමයේ ලේකම් දේවප්‍රිය හෙට්ටිආරච්චි, ව්‍යාපෘති කළමනාකාර ප්‍රසන්න ද සොයිසා, උප සභාපති ආනන්ද දංගල්ල සහ කොළඹ මහනගර සභා රථවාහන නියෝජ්‍ය අධ්යක්ෂ කේ.එම්.කේ. කුලරත්න ද මේ අවස්ථාවට එක්ව සිටියහ.