ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීම සඳහා පැමිණ රත්නපුර මාර්ගයෙන් උඩමළුවේ සිට බිමට පැන්න පැන දිවි බේරාගත් පුද්ගලයා දින 05කට පසු (29) දික්ඔය රෝහලින් පිටව ගොස් ඇත.
සූරියවැව පදිංචිකරුවකු වන එම පුද්ගලයා පසුගිය 19 වැනිදා ශ්‍රීපාදස්ථානයේ උඩමළුවෙන් බිමට පැන්න තිබුණේ අසිහියෙන් බව විමර්ශනවලින් අනාවරණය වී තිබුණි. “මාව මරන්න එනවෝ” යැයි කියමින් ඔහු උඩමළුවෙන් බිමට පැන ඇති බව විමර්ශනවලින් තොරතුරු හෙළිවී තිබුණි.
මෙසේ උඩමළුවේ සිට ඔහු බිමට පැන්න ස්ථානය අඩි 100කට වඩා හෙළක් බවත් එතැනින් වැටුණු පුද්ගලයකු ජීවත්වන්නේ නම් අතපය කැඩී මිස බේරෙන්නේ නැති බව ද පොලිසිය කියයි.
එහෙත් මේ පුද්ගලයාගේ ජීවිතයට කිසිඳු හානියක් සිදුව නැතිව පසුගිය 24 වැනිදා නල්ලතන්නියෙන් හමුවිය. මෙම පුද්ගලයා පොලිසියට පවසා තිබුණේ උඩමළුවේ සිදුවූ කිසිවක් තමාට මතකයේ නැති බවය. තමාට සිහිය ආවේ මුහුණට ජලය විසිරීමකින් බවත් මුහුණට වතුර විසිකළේ කවුරුන්දැයි කියාවත් තමා නොදන්නා බවත් ඔහු පොලිසියට පවසා ඇත. සිහිය එළැඹෙන විට තමා සිටියේ වනාන්තරයක් මැද බවත් වනාන්තරයෙන් පිටතට ඒමට මගක් සොයා ඇවිදින විට දියපහරක් හමුවූ බවත් එම දියපහර ඔස්සේ ගමන් කළ බවත් ඔහු පවසයි. රැය පහක් ගල්තලාවන් සහ ගල් ගුහා වැනි ස්ථානවල රැඳී සිටි බව ද ඔහු පොලිසියට පවසා ඇත. මේ කාලය තුළ ඔහුගේ කුසට ආහාරයක් ලැබී නැති අතර ජලය පමණක් පානය කරමින් දිවි රැකගත් බව ඔහු පවසා තිබේ. ජල පහර ඔස්සේ ගමන්කරමින් නල්ලතන්නිය පොලිස් වසමේ මරේවත්ත නමැති තේ වත්තට ඔහු පැමිණ ඇති බවත් එහි දී වතු තරුණයින් පිරිසක් අසාධ්‍යව සිටි ඔහු ගැන පොලිසිය දැනුම්වත් කර රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි. මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිත කිරීමක් හේතුවෙන් උඩමළුවේ දී උමතුවෙන් හැසිරී තිබේදැයි දැන ගැනීමට වෛද්‍යවරුන් මඟින් රුධිර පරික්ෂාවක්ද කර ඇත. එම වාර්තාවට අනුව ඔහු විෂ මත්ද්‍රව්‍ය භාවිතාකරන අයකු බව අනාවරණය නොවූ බව ද පොලිසිය කියයි.
“මේ පුද්ගලයා හමුවන විට සිරුරේ සුළු සීරීම් පහරවල් තමයි තිබුණේ. ඒ ඔහු කැලේ මැදින් ගමන්කරන කොට කටුපදුරුවලට සීරුණු සලකුණු බවයි අනාවරණය වුණේ. උඩමළුවේ සිට බිමට වැටීමෙන් ඔහුට කිසිඳු හානියක් සිදුවී නැහැ. රෝහල්ගතකර සිටියේ ඔහුට නිසි ආහාරයක් නොමැතිව ශරීරය දුර්වල වී තිබුණු නිසයි. අපිටත් හිතාගන්න බැහැ උඩමළුවේ ඉඳන් බිමට පැනලත් මේ විදිහට බේරිච්ච එක ගැන. මනෝ වෛද්‍යවරුන් ද ඔහුව පරික්ෂා කරල තිබුණා. ඔහුට එවන් රෝගී තත්ත්වයක් පවා ඇති බවක් අනාවරණය වුණේ නැහැ.” යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.