මුදල් අමාත්‍යාංශ ලේකම්ට වසරක සේවා දිගුවක්

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ද වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.මහින්ද සිරිවර්ධනට තවත් වසරක සේවා දිගුවක් ලබා දෙන ලදි. ඒ අනුව මහින්ද සිරිවර්ධන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඉකුත් (26) සිට තවත් වසරක කාලයක රාජකාරියේ නියැළීමට නියමිතය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන මහින්ද සිරිවර්ධන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා ලෙස ද කටයුතු කළේය. එලෙස කටයුතු කරමින් සිටි සිරිවර්ධන 26 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 33ක සහ දින 25ක සේවා කාලයක් නිම කරමින් විශ්‍රාම ගියේය.

වසර 1991 අප්‍රේල් 01වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවයට එක්වූ සිරිවර්ධන විවිධ තනතුරු හොබවමින් මිලියන 22ක් පමණ වන ශ්‍රී ලාංකික ජනතාවගේ ආර්ථික, සමාජ ජීවන තත්ත්වයන් සහ පොදුවේ ශ්‍රී ලංකාවේ දියුණුව සඳහා විශාල වැඩ කොටසක් ඉටු කළ මහ බැංකු නිලධාරියකු විය.