ඇහැළේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරයක්

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කළ ඇහැළේපොළ වලව්ව දළදා මාලිගාවට පවරා දීමෙන් පසු පුරාවිද්‍යාත්මක හා සංස්කෘතිකමය වටිනාකම් ආරක්ෂා කරගනිමින් එය ඉටි රූප කෞතුකාගාරය ලෙස නිර්මාණය කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර පවසයි.

ඇහැළේපොළ වලව්ව අයත් මහනුවර යුගයේ ගෘහනිර්මාණ ශිල්ප, චාරිත්‍ර වාරිත්‍ර සංස්කෘතිය, ආහාර රටාව, කර්මාන්ත හා කලා ශිල්ප ද එම වලව්ව තුළ ඉටි රූප ආශ්‍රිතව ප්‍රතිනිර්මාණය කෙරේ. එමෙන්ම ජාතික වීරවරයන් වන මොනරවිල කැප්පෙටිපොළ දිසාව, ඇහැළේපොළ මහාධිකාරම්තුමා, මෙන්ම ඇහැලේපොල පවුලේ සාමාජිකයන්ගේද ඌව වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය දුන් නායකයන්ගේ ජීවමාන ඉටිරූප මෙහි නිර්මාණය කිරීමට සැලසුම් කර තිබේ. මෙරට ප්‍රෞඪත්වය හා අභිමානය විදහා දැක්වෙන මේ ඉටි කෞතුකාගාරය දෙස් විදෙස් ආකර්ෂණය දිනාගනු ඇතැයි විශ්වාස කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර පවසයි.

පර්චස් 141ක භුමි ප්‍රමාණයක පිහිටා ඇති ඇහැළේපොළ වලව්ව වර්ෂ 2013දී බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් නිදහස් කර නාගරික සංවර්ධන අධිකාරියට පැවැරූ අතර අධිකාරිය එය නැවත ප්‍රතිසංවර්ධනය කර තිබේ.

මෙකී ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් අදහස් පළ කළ නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ඊ.එම්.එස්.බී. ඒකනායක සඳහන් කළේ රුපියල් මිලියන 150ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ප්‍රතිසංවර්ධන කටයුතු සිදු කෙරුණ බවයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාර්ගෝපදේශයන්ට ද යටත්ව මෙම ප්‍රතිසංවර්ධන කටයුතු සිදු කෙරිණ. ඒ සදහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ නාවිත හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා දුන් බව ඒකනායක පවසයි.

මේ අතර නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ඇහැළේපොළ වලව්ව ශ්‍රී දළදා මාලිගාවට පැවරීමට අදාළ සන්නස් පත්‍රය සකස් කරමින් තිබෙන බවයි. එය කඩිනමින් සකස් කරන ලෙස අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. මේ වලව්ව දළදා මාලිගාවට පවරා දීමට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ ඇමති ප්‍රසන්න රණතුංගය.