18 හැවිරිදි ජනනි ධනංජනා රන් දිනයි / ශ්‍රී ලංකාවට රන් 2යි: රිදී 2යි: ලෝකඩ 1යි

මොරොක්කෝවේ මරකෙච් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන ලෝක ගෝන් ප්‍රී පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී 18 හැවිරිදි ජනනි ධනංජනා රන් පදක්කමක් දිනා ගත්තාය.

ඇය එක් අතක් අහිමි (T47) කාණ්ඩයෙන් මීටර් 100 තරගයේදී තත්පර 13.75කින් තරගය නිමකොට ශ්‍රී ලංකා නාමය ඉදිරියේ රන් පදක්කම සටහන් කළාය.

කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හදාරන ජනනි ධනංජනා දුර පැනීමේ ඉසව්වට වඩාත් දක්ෂතා දක්වන බවත්, මීටර් 100 ඇයගේ අමතර ඉසව්වක් බවත් ඇයගේ පුහුණුකරු ලෙස කටයුතු කරන ක්‍රීඩා අමාත්‍යාංශයේ වයඹ පළාත් පුහුණුකරු නලින්ද සෙනරත් පැවසීය. එබැවින් මේ ලෝක ගෝන් ප්‍රී පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී ජනනිගෙන් තවත් පදක්කමක් බලාපොරොත්තු විය හැකි බව සඳහන් කළේය.

“ජනනි පැරා ක්‍රීඩාවේ දීප්තිමත් අනාගතයක් ඇති ක්‍රීඩිකාවක්. අපට අවශ්‍ය වන්නේ තව තවත් නවීන තාක්ෂණික පුහුණුව පමණයි. ඇය ශ්‍රී ලංකාවේ වැඩිම දුරකින් (මීටර් 5.33) දුර පැනීමේ දක්ෂතාවක් ඇති ක්‍රීඩිකාවක්. මීටර් 100 ඇයගේ පෞද්ගලික දක්ෂතාව සටහන් කළා” නලින්ද සෙනරත් සඳහන් කළේය.

මේ අතර දණහිසෙන් පහළ ආබාධිත (F44) කාණ්ඩයෙන් තරග කළ සමිත දුලාන් හෙල්ල විසිකිරීමේ ඉසව්ව මීටර් 65.57කින් රන් පදක්කම දිනා ගත්තේය. වැලමිටෙන් පහළ අතක් අහිමි (T46) කාණ්ඩයෙන් මීටර් 1500 තරගයට එක්වූ ප්‍රදීප් සෝමසිරි මිනිත්තු 4:04.23කින් රිදී පදක්කම දිනාගත් අතර, පාදයේ ඌනතාවක් සහිත (T42) කාණ්ඩයෙන් තරග කළ අනිල් ප්‍රසන්න තත්පර 12.84කින් මීටර් 100 රිදී පදක්කම දිනා ගත්තේය. එම තරග අංශයෙන්ම තරග කළ බුද්ධික ඉන්ද්‍රපාල තත්පර 13.34කින් තරගය නිම කර ලෝකඩ පදක්කම හිමි කර ගැනීමට සමත් විය.