101 වියැති මිත්තණිය අවුරුදු දෙකේ බබෙක් වෙලා

ගුවන්යානා ප්‍රවේශපත් වෙන් කර ගැනීමේ ක්‍රියාවලියේ දෝෂයක් හේතුවෙන් චිකාගෝ නුවර සිට මිචිගන් ප්‍රාන්තය බලා පියාසර කිරීමට නියමිතව සිටි 101 හැවිරිදි මිත්තණියක අවුරුදු දෙකක බිලිඳියකු ලෙස සටහන් වීමෙන් ගුවන්තොටුපොළ නිලධාරීන් අවුල්සහගත තත්ත්වයකට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පැට්‍රීෂියා නමැති එම මිත්තණියගේ උපන්දිනය 1922 වන අතර, අමෙරිකානු ගුවන් සේවයේ ප්‍රවේශපත් වෙන් කර ගැනීමේ පරිගණක ක්‍රියාවලියේ අවුරුදු 100කට පෙර උපත ලැබූ කිසිවකුගේත් උපන්දිනය සටහන් කිරීමට නොහැකිවීම නිසා ඇගේ උපන්දිනය 2022 ලෙස සටහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඒ අනුව ගුවන්තොටුපොළ නිලධාරීන් දෙහැවිරිදි බිලිඳියක බලාපොරොත්තු වුවද, අවුරුදු 101ක් වයසැති ව‍ෙයා්වෘද්ධ කාන්තාවක් ගුවන්තොටුපොළට පැමිණීමෙන් දැඩි අපහසුතාවට පත්වී ඇත. ඇයට ගුවන් යානය තෙක් ගමන් කිරීමට රෝද පුටුවක් වෙන් කර නොතිබූ බැවින් සහ මහලු ගුවන් මගීන්ට සලසනු ලබන විශේෂිත සේවය සූදානම් කර නොතිබූ බැවින් නැවත එම කටයුතු අලුතින් සූදානම් කිරීමට වැඩි කාලයක් වැය වූ බව ද වාර්තා වේ.