භාරතීපුරම් හිටපු OIC ඇතුළු පොලිසියේ පස් දෙනෙක් දිවි ඇති තෙක් හිරේට

තීන්දුව සිද්ධියෙන් වසර 26කට පසුව

කන්තලේ භරතීපුරම් ගම්මානයේ පදිංචිව සිටි නිරායුධ දෙමළ වැසියන් අට දෙනකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් යම් කිසි සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන අවස්ථාවේ එකී මිනීමැරීමේ අවස්ථාවේ දී නීති විරෝධී රැස්වීමක සාමාජිකයින්ව සිටි බවට මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි භාරතීපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හත් දෙනකු අතරින් විත්තිකාර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පස් දෙනකු එකී චෝදනාවට වරදකරුවන් බවට උතුරුමැද පළාත්බද පූර්වගාමී මහහාධිකරණ විනිසුරු සහ කුලියාපිටිය වත්මන් මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය තීන්දු කළේය.

ඒ අනුව භාරතීපුරම් පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු විත්තිකාර පොලිස් නිලධාරීන් පස් දෙනාට බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

විත්තිකාර පොලිස් නිලධාරීන් දෙදෙනකු පමණක් එකී චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර මුදා හරින ලෙසට ද මහධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය විසින් තවදුරටත් නියෝග කරනු ලැබීය.

මෙසේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූයේ කන්තලේ පොලිස් කොට්ඨාසයේ භාරතීපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ පොලිස් පරීක්ෂක ආර්. එම්. රණරාජා බණ්ඩාර, උප පොලිස් පරීක්ෂක ජී. එල්. සෝමරත්න පොලිස් සැරයන්වරුන් වන චන්ද්‍රරත්න බණ්ඩාර සහ කේ .එම් .නිහාල් ප්‍රේමතිලක සහ ආර් .ආර් .සෝමරත්න බණ්ඩාර මැදිවෙල යන විත්තිකරුවන්ටය.

නිදොස් කොට නිදහස් කර මුදා හැරීමට නියෝග කළේ පොලිස් සැරයන්වරුන් වන චන්ද්‍රරත්න බණ්ඩාර සහ කේ .එම් .මයුරසේන යන විත්තිකරුවන්ය.

මෙම නඩු තීන්දුව ප්‍රකාශ කරනු ලැබුවේ පසුගිය 26 වැනි සිකුරාදාය. 1998 වසරේ ජනවරි මස 31 දින හෝ ඊට අසන්න දිනයක ත්‍රිකුණාමලය මහාධිකරණ බලප්‍රදේශයට අයත් කන්තලේ භාරතීපුරම්හිදී මෙම වරද සිදු කර ඇති බව සඳහන් කරමින් නීතිපතිවරයා විසින් හදිසි නියෝග අවස්ථා විධවිධාන පනතේ 26 (1) වගන්තිප්‍රකාරව මනුෂ්‍ය ඝාතනයන් සිදු කිරීමේ අදහසින් නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස සිටි බවට විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණ.

කන්තලේ භාරතීපුරම් ගම්මානයේ පදිංවි සිටි නිරායුධ දෙමළ ජාතික වැසියන් අට දෙනකු භාරතීපුරම් පොලිස් ස්ථානයට බලහත්කාරයෙන් රැගෙන විත් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් යැයි චෝදනා කරමින් යම් සන්නද්ධ කණ්ඩායමක් ඔවුන්ට වෙඩි තබා මරා දැමූ අවස්ථාවේ දී නීති විරෝධී රැස්වීමේ සාමාජිකයන් ලෙස චේතනාන්විතවම මෙම විත්තිකාර පොලිස් නිලධාරීන් සිට ඇති බව අධිකරණ නඩු විභාගයේ දී ඔප්පු විය.

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ සියලු විත්තිකරුවන් කන්තලේ පොලිස් කොට්ඨාසයට අයත් භාරතීපුරම් පොලිස් ස්ථානයේ සක්‍රිය පොලිස් සේවයේ යෙදී සිටින අතරවාරයේ මෙම වරද සිදු කර ඇති බව අධිකරණ නඩු විභාගයේ දී අනාවරණය විය. මෙම නඩුව මුල් අවස්ථාවේ විභාගයට ගැනුණේ ත්‍රිකුණාමලය මහාධිකණයේදීය. එවකට පැවැති ත්‍රස්තවාදී උවදුරු නිසා විත්තිකරුවන්ගේ ආරක්ෂාව උදෙසා නඩුව වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමු කරනු ලැබීය. ඒ එවකට හිටපු අගවිනිසුරුවරයාගේ නියෝගයක් අනුවය. මෙම ඝාතන සිදුවී වසර 26කට පසුව ඊට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම විශේෂත්වයකි.

තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ දී විත්තිකාර භාරතීපුරම් පොලිසියේ ස්ථානාධිපතිවරයා විවෘත අධිකරණයේ විත්ති කූඩුවේ සිටියදී හෘදයාබාධයකින් ඇදවැටුනු අතර ඔහු වාහාම සුව සැරිය ගිලන් රථයක් ගෙන්වා අනුරාධපුර ශික්ෂණ රෝහලට යැවීමට පොලිස් සහ බන්ධනාගාර සහ අධිකරණ නිලධාරීන් කටයුතු කරනු අයුරු දක්නට ලැබිණ.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චාන්දනී හටංගල ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.