පාකිස්තානයේ මහමැතිවරණයේ මන්ත්‍රීවරුන් රුපියල් බිලියන 100කට විකිණිලා

පාකිස්තානයේ පසුගිය මහමැතිවරණය ඊට පෙර 2018දී පැවති මහමැතිවරණයට වඩා දූෂිත බව වත්මන් සභාග රජයේ විරුද්ධ දේශපාලන පක්ෂයක් වන ජමියට් උලමා ඉස්ලාම් පක්ෂයේ ප්‍රධානි මවුලානා ෆසාලුර් රහ්මාන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා පිෂින් නුවර පැවති මහජන රැස්වීමකට සහභාගි වෙමින් එම පක්ෂයේ ප්‍රධානියා මේ ප්‍රකාශය සිදු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ව්‍යාජ ජනවරමක් ඔස්සේ පත් වූ රජයකට රට පාලනය කිරීමට අයිතියක් නැති බවත්, මේ තත්ත්වය මත පාකිස්තානය තවදුරටත් අනාරක්ෂිත රාජ්‍යයක් බවට පත්වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව පසුගිය මහමැතිවරණයේ ප්‍රතිඵල තම පක්ෂය පිළිනොගන්නා බව සඳහන් කර ඇති ජමියට් උලමා ඉස්ලාම් පක්ෂයේ ප්‍රධානියා රුපියල් බිලියන 100කට මන්ත්‍රීවරු සිය හවුල් රජයට එක් කරගැනීමට පාකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් පාර්ශ්වය කටයුතු කර ඇතැයි ද චෝදනා එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ආරක්ෂාව සැලකිල්ලට ගෙන බව කියමින් පාකිස්තාන මැතිවරණ කොමිසම මෙවර මහමැතිවරණය පවත්වනු ලැබුවේ එරට සමාජ මාධ්‍යජාලා අවහිර වන ලෙස රටපුරා අන්තර්ජාලා සබඳතාද අත්හිටුවමිනි.