නොමිලේ බෙදන සහල්වලට එල්ලවන චෝදනා ගැන කඩිනමින් සොයා බලන්න

රජය නොමිලේ බෙදන සහල් තත්ත්වයෙන් බාල සහ සහල් ලබාදීමට මුදල් ගැනීම් සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබඳ කඩිනමින් සොයා බලන්නැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා වෙත උපදෙස් ලබා දී තිබේ.

අගමැතිවරයාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වූ අමාත්‍යාංශ ලේකම්වරයා සහල් බෙදාදීම් පිළිබඳ ඇතිව ඇති සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා සතියක් තුළ කඩිනමින් වාර්තාවක් ලබා දෙන්නැයි දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇති ජන කණ්ඩායම් ඉලක්ක කොට ඔවුන් සඳහා සහල් සහනාධාරයක් ලබා දීමට රජය පසුගියදා තීරණය කරනු ලැබූ අතර ඒ අනුව කාණ්ඩ කීපයක් යටතේ මෙම සහනාධාරය ලබාදීම මේ වන විට දිවයින පුරා සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙනවා.

මේ වැඩසටහන යටතේ පසුගියදා බදුල්ල දිස්ත්‍රික්කයේ බෙදාදෙන ලද සහල් තත්ත්වයෙන් බාල එවා ලෙස ඇතැම් අය චෝදනා කළ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ අදාළ සහල් මුදලට විකිණීමක් සිදුව ඇතැයි ද චෝදනා එල්ලවී තිබේ.

එමෙන්ම ඉදිරියේ දී මෙම වැඩසටහන වඩා විධිමත්ව සිදුවනවාද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් යෙදවීමටද අමාත්‍යාංශය බලාපොරොත්තු වන බව ලේකම්වරයා සඳහන් කළේය.