තාරුණ්‍යය රාජ්‍ය පාලනයේ සක්‍රිය කොටස්කරුවන් කරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රටේ තාරුණ්‍යය එකට එකතු කරගෙන රාජ්‍ය පාලනයේ සක්‍රිය කොටස්කරුවන් බවට රටේ තාරුණ්‍යය පත් කරනා බවත් රාජ්‍ය බලය ලැබුණු පසු Project Youth වැඩසටහන් හරහා තරුණයන් ගොඩ ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

කොමියුනිස්ට්වාදීන්, මාක්ස්වාදීන්, අන්ත වාමවාදීන්, අධ්‍යාපනය නූතනවාදී කිරීමට සැරසෙන සෑම මොහොතකම එයට බාධා කරන බවත් එම කණ්ඩායම්වල දරුවන් ඉගෙන ගන්නේ පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාවල බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (28) කෑගල්ලේ පැවැති සමගි ජන බලවේග තරුණ සමුළුව අමතමිනි.

සමාජයේ බොහෝ දෙනකු පොරොන්දු දේශපාලනය පිළිගන්නේ නැහැ කියන බවත් ඉන් අදහස් වන්නේ බලය ලැබීමට පෙර ලබා දුන් පොරාන්දු කඩ කිරීම බවත් දශක ගණනාවක් පුරා පොරොන්දු කඩ කිරීම් සිදු වුවත් සමගි ජන බලවේගය සහ තමාට පොරොන්දු මාලාවක් ඉදිරිපත් කිරීමට මෙන්ම තරුණයන් සමඟ පැහැදිලි සමාජ ගිවිසුමකට ප්‍රවේශ වෙන්න අයිතියක් ඇති බවත් සජිත් ප්‍රේමදාස පැවසීය. එයට හේතුව තමා ඇතුළු පිරිස පොරොන්දු දී රාජ්‍ය බලය ලබා ගැනීමට පෙර මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය බලයක් නැතිව සක්වල සහ හුස්ම වැඩසටහන් හරහා අධ්‍යාපනය සහ සෞඛ්‍ය දියුණු කරන්න කටයුතු කිරීම නිසා බවත් තමා මේ රටට කළ දේවල් අවිශ්වාස කරනවා නම් දිනපතා සෞඛ්‍ය හා අධ්‍යාපනය ශක්තිමත් කරන්න බලයක් නැතිව කරන වැඩසටහන් පිළිබඳ සොයා බලන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

2019 ජනාධිපතිවරණයේදී තරුණයන් සමඟ සමාජ ගිවිසුමක් අත්සන් කළේ තමා බවත් මැතිවරණ පරාජයත් සමඟ තරුණයන් වෙනුවෙන් අපේක්ෂිත වැඩ කොටසක් කරන්න නොහැකි වුවත් මෙවරත් එවැනිම සමාජ ගිවිසුමක් ඉදිරිපත් කරන බවත් එහිදී නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කර දියුණු කර යාවත්කාලීන කරනවා සේම ජාත්‍යන්තර තලයේ ඉහළ මට්ටමින් යුත් සුහුරු අධ්‍යාපනයක් ලබා දෙන බවත් ඊට අමතරව රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය තුළ මෙරට තාරුණ්‍යයට විකල්ප අධ්‍යාපන අවස්ථා ඇති කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සියලු දේ ඡන්ද වැඩි කර ගැනීමට නොව විද්‍යාත්මක දත්ත කේන්ද්‍රීයව සිදු කරන ක්‍රියාවක් බවත් කුඩා තේ වතු හිමියන් වැඩි වන විට මෙරට තේ නිෂ්පාදනය ඉහළ යන බවට විද්‍යාත්මක දත්ත මඟින් අනාවරණය වී ඇති නිසා මේ කුඩා තේ වතු වගා සංග්‍රාමය ආරම්භ කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.